ආයෝජක ආකර්ෂණය බැංකු සිට වෙනත් අංශ වෙත

කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජක ආකර්ෂණය බැංකු අංශයෙන් ඉවත්ව ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශයේ සමාගම් සම්බන්ධයෙන් ඉහළ යාමත් සමගින්ම දෙවැනි දිනටත් අද දිනයේදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු යම් නැගීසිටීමක් පෙන්නුම් කළ බව තැරැව්කාර සමාගම් පවසයි.

විශේෂයෙන්ම පසුගියදා නිකුත් වූ ජාත්‍යන්තර ෆිච් රේටිං වර්ගීකරණය මගින් බැංකු සඳහා ඍණ ඉදිරි දැක්මක් ඉදිරිපත් කර තිබීම ආයෝජකයන් මෙලෙස නව සමාගම් වෙත යොමු වීමට හේතු ලෙස සැලකෙයි.   

ඒ අනුව අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 5,038.68 ත් ඒකක 5,071.59 ත් අතර විචලනයක් පෙන්වීය. දිනය නිමා වනවිට එය ඒකක 5,065.30ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ජූලි 23) දිනයට සාපේක්ෂව එය ඒකක 24.42 ක් එනම් +0.48%ක ඉහළ යාමක් යාමක් පෙන්නුම් කර තිබේ.

මෙහිදී සීගිරිය විලේජ් හොටෙල්ස් පීඑල්සී, ලංකා ඔරික්ස් ලීසිං පීඑල්සී, ටෝකියෝ සිමෙන්ට් ලංකා පීඑල්සී සහ සම්පත් බැංකුව පීඑල්සී යන සමාගම් මගින් පෙර කළ සාකච්ඡා එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු හතරක් සමස්ත පිරිවැටුම සඳහා 15%ක දායකත්වයක් සැපයීය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 34 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.5), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.73), කාර්සන් කුම්බර්බැච් පීඑල්සී CARS (+1.67), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.40), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+1.12), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-6.04), මෙල්ස්ටාකෝප් පීඑල්සී MELS (-2.72), ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී JETS (-0.85), ඊක්වටි ටූ පීඑල්සී ETWO (-0.51) සහ රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි RICH (-0.43) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,161.89 ක අගයක් ගත් අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 2.26 ක එනම් 0.10%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 871.89 ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (23දා) දිනයේදී වාර්තා කළ රුපියල් මිලියන 631.84 ට සාපේක්ෂව 38%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.38 ක අගයකට පත්ව ඇති අතර, එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.40%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 31.03ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 109.55ක අගයක් ගෙන තිබේ.

එසේම දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 78.52 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 23.55ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.09 කි. එසේම ටෝකියෝ සිමෙන්ති පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර, ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 24.30ක් ලෙස සටහන්ව ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 207 ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළීවෙලින් රුපියල් මිලියන 139 ක සහ රුපියල් මිලියන 136ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 349