යුනියන් ඉන්වෙස්ට්මන්ට්ස් සීගිරිය විලේජ් හොටෙල්හි කොටස් මිලදී ගැනීමක

ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන සීගිරිය විලේජ් හොටෙල්ස් පීඑල්සී හි කොටස් 2,080,518ක් කොටසක් රුපියල් 32ක මුදලකට මිලදී ගැනීමට සීමාසහිත යුනියන් ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගම ඊයේ (ජූලි 24) දා කොළඹ කොටස් වෙළෙඳ පොළේදී කටයුතු යොදා ඇත.

වෙළෙඳ පොළ දත්ත අනුව මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ පෑන් ඒෂියා බෑන්කිං කෝපරේෂන් / ලංකෙම් සිලෝන් පීඑල්සී යන සමාගම් සතුව තිබූ සීගිරිය විලේජ් හොටෙල්හි එම කොටස් ප්‍රමාණය යුනියන් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මගින් මිලදී ගැනීම හරහායි. සීමාසහිත ACUITY ස්ටොක්බ්‍රෝකර්ස් (පෞද්) සමාගම මෙම ගනුදෙනුවේ තැරැව්කරුවන් ලෙස කටයුතු කර තිබේ.

ඒ අනුව මෙය සීගිරිය විලේජ් හොටෙල්ස් පීඑල්සී විසින් කොටස් වෙලෙඳ පොළට නිකුත් කර තිබූ සමස්ත ප්‍රාග්ධනය වූ කොටස් 9,000,000 කින් 10%කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමක් බවද සඳහන් වෙයි. ඒ අනුව මෙය එහි ප්‍රතිශතයක් ලෙස 23.12% කි.

1964 වසරේදී කෘෂි රසායනික සමාගමක් ලෙස රාජකීය නෙදර්ලන්ත ෂෙල් සමාගම (රෝයල් ඩච් ෂෙල්) මගින් ආරම්භ කළ ලංකෙම් සමාගම අද වනවිට කෘෂිකාර්මික, පාරිභෝගික, ආහාර අමුද්‍රව්‍ය සහ පෝෂණ අමුද්‍රව්‍ය, හෝටල්, කාර්මික රසායන ද්‍රව්‍ය, කාර්මික බිම් සැකසුම් ද්‍රව්‍ය, තීන්ත, පළිබෝධනාශක, වැවිලි සහ මාර්ග ඇතුරුම් යනාදී ලෙස ක්ෂේත්‍ර රැසක් පුරා ව්‍යාප්ත වී තිබේ.

1998 දී එම සමාගම කොටගල සහ ආගරපතන වැවිලි සමාගම් මිලදී ගැනීමත් සමග වැවැලි කළමනාකරණ ක්ෂේත්‍රය වෙත පිවිස තිබේ. එසේම 1990 දශකයේදී ලංකෙම් සමාගම සීගිරිය විලේජ් හෝටලය අත්පත් කරගැනීමට සමත්ව ඇත. පසුව බේරුවල රිසෝට්ස් පෞද්ගලික සමාගමේ පාලනයත් හිමි කරගැනීමට කටයුතු යොදා ඇත. අද වනවිට රට පුරා හෝටල් පහක හිමිකාරීත්වය ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම සතුය.

Visits: 413