ජූනි මාසයේ උද්ධමනය 6.3% දක්වා ඉහළට

2020 වසරේ ජූනි මාසය සඳහා වන ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 6.3%ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය පසුගිය මැයි මාසයේදී පැවැති උද්ධමනය වූ 5.2%ක සා සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

මෙලෙස 2020 ජූනි මාසයේදී සිදු වූ උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර කාණ්ඩයේ 5.8%ක හා ආහාර නොවන කාණ්ඩයේ 0.5%ක දායකත්වයක් ලබා දී ඇත.

එහෙත් පසුගිය වසරේ ජූනි මාසයේදී මෙම මතුපිට උද්ධමනය 2.1%ක් වූ බව එම දෙපාර්තමේන්තුව පවසයි.  එහිදී ආහාර කාණ්ඩයේ දායකත්වය 1.3%ක් වූ අතර ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.4% ක් විය. කෙසේ වෙතත් පොල්, සහල්, පොල්තෙල්, අලුත් මාලු, සීනි සහ කහ කුඩු යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මට්ටම් ඉහළ යාම 2019 ජූනි මාසයට සාපේක්ෂව 2020 ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ ප්‍රතිශතය වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ.

“මෙහිදී ආහාර කාණ්ඩය සැලකූ විට එළවළු, සීනි, අලුත් මාලු, බිත්තර, සහල්, කහ කුඩු, කුකුල් මස්, අර්තාපල්, පොල්තෙල්, දෙහි, මයිසූර් පරිප්පු, පළතුරු, බිස්කට්, පොල්, මුං ඇට, පපඩම්, කව්පි සහ ටින් මාළු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා වී ඇත. එසේ වුවත් සුදු ලූණු, කරවල, වියළි මිරිස්, දෙල්, මිරිස් කුඩු සහ තුනපහ කුඩු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී තිබේ.” දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා රෙදිපිළි හා පාවහන්, සෞඛ්‍ය, ප්‍රවාහන (වාහන මිලදී ගැනීම්, සහ ආපනශාලා සහ හෝටල් යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල වැඩිවීම් බලපා තිබේ.

“කෙසේ වෙතත් මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය (බුලත්), සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (ගොඩනැගිලි ද්‍රව්‍ය) යන කාණ්ඩවල මිල අඩුවීමක් වාර්තා වී තිබේ. තවද පසුගිය මාසය හා සංසන්දනය කිරීමේදී ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු කාණ්ඩයේ මිල ගණන් සුළු වැඩිවීමක් වාර්තා කර තිබේ. එසේම විනෝදාත්මක හා සංස්කෘතික සහ විවිධ භාණ්ඩ හා සේවා යන කාණ්ඩවල සුළු අඩුවීමක් වාර්තා වී තිබේ. එහෙත් පසුගිය මාසය හා සංසන්දනය කිරීමේදී සන්නිවේදන හා අධ්‍යාපන යන කාණ්ඩවල මිල දර්ශක අගය වෙනසක් වී නොමැත.” දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Visits: 55