ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් වන්දි ගෙවීම 25 දා සිට

ව්‍යාපාර කටයුතු තහනම් කර තිබෙන ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන සමාගම්වල තැන්පත් කරුවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම ලබන ජූලි 25 වැනි සෙනසුරාදා දිනයේ පටන් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් මෙම රක්ෂණ වන්දි මුදල් ගෙවීම සිදු කරන බව මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

මෙහිදී දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45ක් මගින් මෙම සමාගම් දෙකෙහිම තැන්පත්කරුවන් වෙත වන්දි මුදල් ගෙවීම සිදු කෙරේ. ඒ අනුව  එක් තැන්පත්කරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙන බව මහ බැංකුව පවසයි.

2020 ජූලි 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන සමාගම්වල ව්‍යාපාර මෙහෙයුම් තහනම් කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබුණි.

“ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන සමාගම් මගින් තහවුරු කරන ලද සියලුම තැන්පත්කරුවන්ට/තැන්පතුවල නිත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මේ වන විට වෙන් කර ඇත. මෙම ගෙවීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය පියවර ගෙන ඇත.” මහ බැංකුව පවසයි.

මෙම වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේදී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් සහාය දක්වන ලෙසද මහ බැංකුව තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 0112-481594, 0112-481320, 0112-481617, 0112-481703 හෝ ශ්‍රී ලංකා මහ බැංකුව 0112-398788 සහ 0112-477261 යන දුරකතන අංක හරහා ලබා ගත  හැකිය.

Visits: 129