ව්‍යාජ අත්සන් යෙදූ SLTDA නිලධාරියෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකුගේ අත්සනක් ව්‍යාජ ලෙස සකස් කර විදේශිකයන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට රැකියා වීසා නිර්දේශ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් සිය සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ මූල්‍ය අංශයේ සේවය කළ බව කියන පුද්ගලයා ජූලි 22 එනම් අද දින අපරාධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය, “අපි ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර, සැක සහිත රැකියා වීසා නිර්දේශ ලිපි දෙකක් සම්බන්ධයෙන් ඔවුන් කළ පරීක්ෂණයකදී අධ්‍යක්ෂවරයෙකුගේ අත්සනින් ව්‍යාජ ලෙස මෙම නිර්දේශ ලිපි සකස් කර ඇති බව සොයා ගැනුණා.”යනුවෙන් පවසා සිටියි.

අතීතයේ දී මෙවැනි අක්‍රමිකතා බොහෝමයක් සිදුවී ඇති බවත්, ජනවාරි මාසයේ සිට ඊට අවශ්‍ය වෙනස්කම් තමන් ඇතුළු ඉහළ පරිපාලනය කටයුතු සිදු කරමින් සිටින බවත් ඇය සඳහන් කරයි.

“ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපකීර්තියට පත් කරන මෙවැනි ක්‍රියාකාරකම් අප ඉවසන්නේ නෑ. මේ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන්, කලබලයට පත් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයින් ආයතනයේ නායකත්වය අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරනවා. එහෙත් මෙවැනි දේ සඳහා උපරිම පියවර ගනිමින්, අවශ්‍ය වෙනස්කම්ද අපි දිගටම සිදු කරනවා.” යනුවෙන්ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු ප්‍රකාශ කළාය. 

ඒ අනුව ආයතනයේ ක්‍රියාදාමයන්හි දීර්කාලීනව පවතින මූලික අඩුපාඩුකම් විසඳීම සඳහා ප්‍රදේශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවත්, බලපෑමට ලක් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ සමහර බාහිර පාර්ශවකරුවන්ගේ දැඩි විරෝධය නොතකා, අවශ්‍ය වන පද්ධති වෙනස් කිරීම අඛණ්ඩව සිදුවනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 41