හිටපු HNB ඇෂුවරන්ස් CEO – ලංකා හොස්පිටල්ස් CEO ධුරයට

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ නව සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් සහිත නීතීඥ දීප්ති ප්‍රසාද් ලොකුආරචිචි මහතා පත් වී ඇතැයි එම සමාගම සඳහන් කරයි.

ඒ මහතා අවසන් වරට HNB ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, පසුගිය ජූලි 02 වැනිදා ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

2020 ජූලි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි වැඩබලන සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වෛද්‍ය විමල් කරන්නාගොඩ මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හිස් වූ තනතුර සඳහා ලොකුආරච්චි මහතා මෙලෙස පත් වීම් ලැබ තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් හිමි කරගෙන ඇති ඒ මහතා වරලත් රක්ෂණ අවදානම් කළමනාකරුවෙකු ලෙසද කටයුතු කරයි. ලොකුආරච්චි මහතා ජීවිත සහ සාමාන්‍ය යන රක්ෂණ අංශ දෙක යටතේම වෘත්තීය අත්දැකීම් සහිත අයෙකු බව පැවසෙයි.

මීට පෙර ඒ මහතා ඊගල් ස්ටාර් සමූහයට අයත් රක්ෂණ සමාගම්, සූරිච් ෆයිනෑන්ෂියල් සර්විසස්, එක්සත් අරාබි එමීරයේ අල්-ෆුටායිම්, අවිවා සහ ඒ.අයි.ජී. යන සමාගම්හි සේවය කර තිබේ. එසේම ඒ මහතා රජයේ විශාලතම රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කලක් කටයුතු කර ඇත. 

එසේම ලොකුආරච්චි මහතා වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සභාපති ධුරයද හොබවා ඇති අතර, IASL (Insurance Association of Sri Lanka) හි ආසන්නතම සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.

Visits: 134