ෆිච් රේටිං ඍණාත්මක වර්ගීකරණය සමග කොටස් වෙළෙඳ පොළ පසු බසී

ජාත්‍යන්තර ෆිච් රේටිංග්ස් ආයතනය මගින් මෙරට බැංකු සඳහා ‘B-‘ සහ ‘B’ ලෙස ඍණාත්මක දැක්මක් සහිත වර්ගීකරණක් ලබා දීම හේතුවක් කරගනිමින් බැංකු අංශය පිළිබදව ඇති වූ අයහපත් තත්ත්වයත් සමගම අද දවසේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු යම් පසුබැසීමක් පෙන්නුම් කළ බව තැරැව්කාර සමාගම් පවසයි.  

මේ සමගම අද (2020 ජූලි 21)දිනයේදීද කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි.

ඒ අනුව අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)ඒකක 5,026.39 ත් ඒකක 5,051.50 ත් අතර විචලනයක් පෙන්වීය. දිනය නිමා වනවිට එය ඒකක 5,034.45ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ජූලි 20) දිනයට සාපේක්ෂව එය ඒකක 4.40 ක් එනම් -0.09%ක පහළ යාමකි.

මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී,ඩී.එෆ්.සී.සී, ෂෙව්රෝන් ලුබ්රිකන්ට් ලංකා පීඑල්සී සහ කොමර්ෂල් බැංකු යන සමාගම් මගින් පෙර කළ සාකච්ඡා එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු හයක් සමස්ත පිරිවැටුම සඳහා 18%ක දායකත්වයක් සැපයීය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 66ක මිල ගණන් ඉහළ ගිය අතර,සමාගම් 74 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+1.9),ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.7), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+1.0), සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී SUN (+0.9), වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී WATA (+0.7), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-4.0),ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-1.4),සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-1.2), එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.1) සහ  සම්පත් බැංකුව පීඑල්සීSAMP (-1.0) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,173.61 ක අගයක් ගත් අතර,එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 7.52 ක එනම් 0.34%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 984.36 ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ දිනයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.19 ට සාපේක්ෂව 17%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.35 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.55%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 170.74ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 359.93ක අගයක් ගෙන තිබේ.

එසේම දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 189.20 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන23.34ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 28.92 කි. එසේම ඩී.එෆ්.සී.සී. බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 84.07ක් ලෙස සටහන්ව ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 481 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර,එය ප්‍රතිශතයක් ලෙස 49% ක අගයක් ගෙන තිබේ. එසේම ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළීවෙලින් රුපියල් මිලියන 186 ක සහ රුපියල් මිලියන 174ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 297