ස්වයංක්‍රීය ගෙවීමේ ක්‍රමයකට HNB SOLO සහ Lanka IOC එක්වෙයි

හැටන් නැෂනල් බැංකුව (HNB) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (Lanka IOC) අතර HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවීමේ (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර ක්‍රියාත්මක වූ බව පවසයි.

මෙම පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි Lanka IOC ඉන්ධන පිරවුම්හල් 41 ක් වෙත මෙම පහසුකම ලබා දී ඇති අතර, දෙවැනි අදියර යටතේ තවත් ඉන්ධන පිරවුම්හල් 167ක් වෙත එම පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබේ.

බලපත‍්‍රලාභී වානිජ බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අනුමතය පරිදි Lanka QR ප‍්‍රමිතිය අනුව සකස් කර ඇති HNB SOLO හරහා ගනුදෙනුකරුවන්ට Lanka IOC පිරවුම්හලකින් ඉන්ධන පිරිවීමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්, මුදල් හෝ කාඩ්පත් භාවිතයකින් තොරව සිය ජංගම දුරකතන හරහා එම ගනුදෙනු කටයුතු සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙයි.

Solo යෙදවුම සමඟ එන සුවිශේෂී QR කේතය ස්කෑන් කිරීමෙන් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ පෙට‍්‍රල් හෝ ඩීසල් සඳහා වැය වන මුදල ගෙවිය හැකිය. Lanka IOC හි 208 කට වඩා වැඩි ඉන්ධන පිරවුම්හල්වලදී ගෙවීම් කටයුතු ආරක්ෂිතව සිදු කිරීමට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වන්නේ තම ස්මාර්ට් ජංගම දුරකතනයේ Solo යෙදවුම තිබීම පමණි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ SME බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා, “අලුත් තත්වයට ක‍්‍රමයෙන් හැඩ ගැසීමත් සමඟ, කායික දුරස්ථභාවය පිළිබඳ රජය විසින් පනවනු ලැබූ අනිවාර්ය නීති රීති දැඩි ලෙස පිළිපැදීමට පාරිභෝගිකයින් පෙළෙඹී සිටිනවා. මෙම නව ජීවන රටාව මුදල් රහිත හා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගනුදෙනුවල සැලකිය යුතු වර්ධනයක් ඇති කර තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ වඩාත් සුරක්ෂිත ගෙවීම් විකල්පයන් ලබා දීමට අප සම්පූර්ණයෙන් කැපවී සිටිනවා.” යනුවෙන් පවසා සිටියි.

මෙහිදී අදහස් දක්වන Lanka IOC කළමනාකර අධ්‍යක්ෂක, මනෝජ් ගුප්තා මහතා, “භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවීම් කටයුතු සිදු කිරීමේ විකල්පය ක‍්‍රියාවෙහි යෙදවීමට HNB සමඟ අප එක් වූයේ පශ්චාත් කොවිඩ් යතාර්ථය තුළ අපගේ සේවකයින් හා ගනුදෙනුකරුවන් හැකි තරම් ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට වූ අපගේ දැඩි කැපවීම නිසාය.” යනුවෙන් පවසයි.

ඩිජිටල් ගෙවීම් සඳහා පරිශීලකයින්ට පූර්ණ නිදහසක් ලබා දෙමින්, HNB විසින් Solo යෙදවුම නිර්මාණ කර ඇත්තේ,  ඕනැම ප‍්‍රසිද්ධ හෝ කුඩා වෙළෙඳසැලක් සමග සිදු කරන ඕනෑම ගනුදෙනුවක් පහසුවෙන් හැසිරවීමේ හැකියාව පරිශීලකයින්ට ලබා දීම සඳහාය. Google Play Store හෝ AppleApp Store හරහා නොමිලේ Solo යෙදවුම download කර ගත හැකිය.

Visits: 49