කොවිඩ්19 බිය තුරන්ව මැතිවරණය ළං වෙද්දී ආයෝජක ආකර්ෂණය ඉහළට

රට තුළ ඇති වීමට ඉඩ තිබූ නව කොරෝනා ව්‍යාප්තිය  යම් තරමකින් පාලනය කිරීමත්, මහ මැතිවරණ දිනය දිනෙන් දින ළං වීමත් සමගින්ම කොටස් වෙළෙඳ පොළ වෙත සිදුවන ආයෝජන ආකර්ෂණය ඉහළ ගොස් ඇතැයි කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව අද (2020 ජූලි 20) දිනයේදීද කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.

මේ කාරණාවලට අමතරව නව කොරෝනාවෙන් අනතුරුව රටෙහි මූල්‍ය සහ නිෂ්පාදන අංශයන්හි සිදුවන ක්‍රියාකාරකම්වල වර්ධනයද මෙම ගනුදෙනු ඉහළ යාම සඳහා හේතු වී ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත් අද දිනයේ අගභාගයේදී සිදු වුණු විදේශ ආයෝජන පිටතට ගලායාම් සමගින්ම යම් තරමක පීඩනයක්ද වෙළෙඳ පොළ තුළ හට ගත් බව ඒ පිළිබඳව අවධානය යොමු කරන පිරිස් සඳහන් කරයි. 

ඒ අනුව අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 4,999.17 ත් ඒකක 5,039.68 ත් අතර විචලනයක් පෙන්වීය. දිනය නිමා වනවිට එය ඒකක 5,038.85ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව එය ඒකක 50.35 ක් එනම් 1.01%ක ඉහළ යාමකි.

මෙහිදී පීපල්ස් ලීසිං ඇන් ෆිනෑන්ස්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන බලපත්‍රලාභී වාණිජ බැංකුව මගින් පෙර කළ සාකච්ඡාවක එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු අටක් සමස්ත පිරිවැටුම සඳහා 19%ක දායකත්වයක් සැපයීය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම 123ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 27 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+5.93), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.49), ලයන් බෘවරි පීඑල්සී LION (+3.07), ඩිල්මා සිලෝන් ටී පීඑල්සී CTEA (+2.54), හැටන් නැෂනල් බැංකුව HNB (+2.28), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-1.58), ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී ASCO (-1.04), ලංකා ඔරික්ස් ලීසිං කෝපරේෂන් පීඑල්සී LOLC (-0.81), සම්පත් බැංකුව පීඑල්සී ABL (-0.33) සහ ද කලම්බු ෆෝර්ඩ් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිං පීඑල්සී CFLB (-0.24) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,181.13 ක අගයක් ගත් අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 27.63 ක එනම් 1.28%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.19 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පසුගිය සිකුරාදා දිනයේදී වාර්තා කළ රුපියල් මිලියන 932 ට සාපේක්ෂව 28%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.35 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.48%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 119.12ක් ලෙස සටහන් විය. ඒ අනුව සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 508.69ක අගයක් ගෙන තිබේ. එසේම දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 389.57 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 23.15ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 64.68 කි. එසේම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 241.85ක් ලෙස සටහන්ව ඇත.

දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 341 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් රුපියල් මිලියන 314 ක සහ රුපියල් මිලියන 252ක දායකත්වයක් ලබා දී ඇත.

Visits: 308