වාර්ෂික කෝටා ක්‍රමයකට මෝටර් රථ ආනයනයට යෝජනාවක්

රජය විසින් පනවා ඇති ආනයනය සීමා කිරීම් හේතුවෙන් මෝටර් රථ ආනයනයද අත්හිටුවා තිබීම හේතුවෙන් සිය කර්මාන්තය වෙත සිදුව ඇති හානිය මගහැරීමට යෝජනා ඉදිරිපත් කරන බව ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමය (VIAL) සඳහන් කරයි.

එහිදී මූලිකවම වාර්ෂික කෝටා ක්‍රමයකට මෝටර් රථ ආනයනය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා %ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා^ අප සිදු කළ විමසුමකට පිළිතුරු වශයෙන් පවසා සිටියේය.

විශේෂයෙන්ම මෙම ක්‍රමය හරහා රජයේ බලාපොරොත්තු වන ආනයන වියදම් අඩු කිරීමද සිදු කළ හැකි වෙනු ඇතැයි ඒ මහතාගේ අදහස වී තිබේ.

“අද වෙන කොට මෝටර් රථ ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 1,700 ගණනක් මෙරටට ගෙන්වීම තාවාකාලිකව නවතා දමා තිබෙනවා. මෝටර් රථ ආනයනකරුවන් විදියට අපි සහයෝගය ලබා දෙනවා. ඒත් සංගමයක් විදියට අපි මේ කර්මාන්තයේ නිරත පිරිස් රැකගන්න යම් යෝජනා ඉදිරිපත් කරන්න වෙනවා. ඒ යටතේ තමයි මේ කෝටා ක්‍රමයට රටේ මෝටර් රථ ආනයනය කරන සමාගම්වලට මෝටර් රථ ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙන්න කියලා යෝජනාවක් ගෙන එන්නේ.”

මෙහිදී එක් වසරකට මෙරටට ආනයනය කළ හැකි මෝටර් රථ සඳහා වන වටිනාකම සම්බන්ධයෙන් යම් මුදල් කෝටාවක් නියම කර, එය මෙම සමාගම් අතර බෙදා දීම සුදුසු බව ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

“මේ අනිසි ආනයන රටට හානියක් කියලා අපි පිළිගන්නවා. අපි යෝජනා කරන්නේ යම් අවස්ථාවකදී මේ ආනයනය සීමා ඉවත් කළායින් පස්සේ රටට ගෙන්වන මෝටර් රථවල ආනයන වියදම තීරණය කරන්න කියලයි. ඒ කියන්නේ ඉදිරි වසරේදී රටට ගෙන්වන වාහනවලට අපි වියදම් කරන්නේ මෙච්චරයි කියලා රජයට ඊට පෙර වසරේදී තීරණයක් ගන්න පුළුවන්. එතකොට රජයට පුළුවන් දැනට මේ ව්‍යාපාරයේ වසර ගණනක් පුරා නිත්‍ය ලෙස රැඳිලා ඉන්න ව්‍යාපාරිකයන් ආරක්ෂා කරලා දීලා, රටට අවශ්‍ය මෝටර් රථ ගෙන්වා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.”

එතැනදී රටට ගෙන්විය යුතු මෝටර් රථ මොනවාද, රටට වැඩි තීරු බදු ආදායමක් ලැබෙන වාහන මොනවාද යනාදී ලෙස ගත යුතු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට එළැඹීමට රජයට සහාය දීමටද තම සංගමයට හැකි බව මෙරෙන්චිගේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

“අපිට හැමදාමත් රටට වාහන ආනයනය නොකර ඉන්න බැහැ. ඒ වගේම තමයි රට ඇතුළේ වාහන නිපදවන්නත් බැහැ. කොටස් එකලස් කරලා මේ රටේ වෙළෙඳ පොළට වාහනයක් ඉදිරිපත් කරන්නත් බැහැ. එතැනදී කරන්න පුළුවන් වෙන්නේ වෙනත් රටකට සරිලන විදියට මෝටර් රථයක් මෙරටදී නිෂ්පාදනය කරලා ඒකේ අතුරුඵලයක් විදියට රටට යම් ආදායමක් ලබා ගැනීමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන පිරිස ඒකාබද්ධ කරගෙන ඉදිරි වසර පහකට, දහයකට හරියන විදියට ප්‍රතිපත්ති සකස් කරන්න පුළුවන් යෝජනාවක් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ.” යනුවෙන්ද ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පවසා සිටියේය.

Visits: 149