බැංකු අංශයේ මිලදී ගැනීම් සමග කොටස් වෙළෙඳ පොළ මදක් ඉහළට

රට තුළ පවතින නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය දැක්වූ විශ්වාසනීයත්වයත් සමග අද (2020 ජූලි 17) දිනයේදීද කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඊයේ (2020 ජූලි 16) දිනයට සාපේක්ෂව යම් ඉහළ ඒමක් පෙන්නුම් කළ බව වාර්තා වෙයි. එහිදී විශේෂයෙන්ම බැංකු අංශයේ පෙන්නුම් කළ නැවුම් මිලදී ගැනීමේ උනන්දුවත් සමගින්ම දිනයේ ගනුදෙනුවල මෙම ඉහළ යාම සිදුව තිබේ.  

ඒ අනුව අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 4,962.20 ත් ඒකක 4,992.88 ත් අතර විචලනයක් පෙන්වීය. දිනය නිමා වනවිට එය ඒකක 4,988.50ක් බවට පත්විය. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව එය ඒකක 34.96 ක් එනම් 0.71%ක ඉහළ යාමකි.

මෙහිදී සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව යන බලපත්‍රලාභී වාණිජ බැංකුව මගින් පෙර කළ සාකච්ඡාවක එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු හයක් සමස්ත පිරිවැටුම සඳහා 22%ක දායකත්වයක් සැපයීය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම 109ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 31 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+4.24), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.53), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+2.81), ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී AEL (+1.93), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් AHPL (+1.90),  නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.99), එල්.ඕ.එල්.සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් NIFL (-1.68), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-0.64), අමානා බැංකුව පීඑල්සී ABL (-0.54) සහ වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී WATA (-0.39) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,153.50 ක අගයක් ගත් අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 26.87 ක එනම් 1.26%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 932 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේදී වාර්තා කළ රුපියල් මිලියන 568 ට සාපේක්ෂව 64%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.33 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.30%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 239.90ක් ලෙස සටහන් විය. ඒ අනුව සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 454.8ක අගයක් ගෙන තිබේ. එසේම දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 214.9 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 22.76ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව පීඑල්සී විසින් ලබා දී ඇති අතර, විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 8.16 කි. එසේම කොමර්ෂල් බැංකුව පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 111.6 ක් ලෙස සටහන්ව ඇත.

දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 565 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 61% ක අගයක් ගෙන තිබේ. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් රුපියල් මිලියන 128 ක සහ රුපියල් මිලියන 89ක දායකත්වයක් ලබා දී ඇත.

Visits: 394