හිටපු CSE සභාපති වජිර කුලතිලක ‘ප්‍රින්ට්කෙයාර්’ අධ්‍යක්ෂ මණ්ඩලයටත්

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපතිවරයා ලෙස 2014 සිට 2017 දක්වා කටයුතු කළ වජිර කුලතිලක මහතා ප්‍රින්ට්කෙයාර් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර ගෙන ඇතැයි එම සමාගම පවසයි.

ඒ අනුව 2020 ජූලි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස වජිර කුලතිලක මහතා සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව ප්‍රින්ට්කෙයාර් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කර සිටියි.

එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වන විට කුලතිලක මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් එම සමාගම අවධාරණය කර සිටියි.

වජිර කුලතිලක මහතා ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35කට අධික අත්දැකීම් සපිරි අයෙකි. මීට පෙර ඒ මහතා නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ (NDB) ආයෝජන බැංකුකරණ අංශයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. එසේම ඔහු 2014 වසරේදී ඒ මහතා හොඳම ආයෝජන බැංකු ප්‍රධාන විධායක නිලධාරියා බවටද පත්විය. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රය සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ග්ලෝබල් බෑන්කිං ඇන්ඩ් ෆිනෑන්ස් රිවීව් මගින් 2015 වසරේදී පිළිගැනීමටද ලක්විය.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක්ද සහිතව සිවිල් ඉංජිනේරු උපාධියකි හිමි කරගෙන ඇති වජිර කුලතිලක මහතා, තායිලන්තයේ ආසියානු තාක්ෂණික ආයතනයෙන් කාර්මික ඉංජිනේරුවිද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව උපාධියක්ද හිමි කරගෙන ඇත. එසේම වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකුද ඔහු එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකත්වයද ලබයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති ධුරය දැරීමට අමතරව එම කාලසීමාවේදීම වජිර කුලතිලක මහතා දකුණු ආසියානු විනිමය හුවමාරු ෆෙඩරේෂනයේ (SAFE) හි සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

1979 වසරේදී පිහිටවුණු ප්‍රින්ට්කෙයාර් ආයතනය දකුණු ආසියාවේ මුල් පෙළේ මුද්‍රණ, ඇසුරුම්කරණ සමාගමක් ලෙස සැලකෙයි. අද වනවිට එම සමාගම සතුව ආසියාවේ වඩාත් තාක්ෂණික වශයෙන් දියුණු මුද්‍රණ කර්මාන්තශාලාවක් පවතින බව සමාගම පවසයි. එසේම මහාද්වීප පහකම සිය ගනුදෙනුකරුවන් සිටින බවත් ඔවුන් සඳහන් කරයි. විශේෂයෙන්ම තේ, දුරකතන සන්නිවේදන, ඇගලුම්, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG), මුද්‍රණ සහ ඩිජිටල් මීඩියා, අධ්‍යාපන සහ ලොතරැයිපත් යන නිෂ්පාදන ප්‍රින්ට්කෙයාර් මගින් සිදු කරයි.    

මේ අතර, පසුගිය ජූනි 25 වැනිදා සිට කුලතිලක මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරගැනීමට එම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි. එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වජිර කුලතිලක මහතා විධායක නොවන ස්වාධී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව බැංකුව කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කර තිබේ. එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වන විට කුලතිලක මහතා සතුව සම්පත් බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් බැංකුව අවධාරණය කර සිටියි.

Visits: 131