ප්‍රාණඇපකරුවන් මුදවා ගැනීමේ සාකච්ඡා නිලධාරීන් පත්වෙයි

ගුවන් සේවා කටයුතුවලදී සිදුවිය ගුවන් යානා හැකි පැහැර ගැනීම්, මංකොල්ලකෑම් වැනි සිදුවීම්වලදී අදාළ පිරිස් විසින් ගුවන්  මගීන් හා ගුවන් යානා කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් අවස්ථාවලදී ඔවුන් මුදවා ගැනීම සඳහා අතරමැදියන් ලෙස කටයුතු කළ හැකි සාකච්ඡා කිරීමේ නිලධාරීන් පත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පියවර ගත් බව පවසයි.

මෙවැනි නිලධාරීන් පත් කිරීමක් සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට වීම විශේෂත්වයයි.

සාමාන්‍යයෙන් ලෝක ගුවන් සේවා ඉතිහාසය තුළ සිදු වූ මෙවැනි පැහැර ගැනීම්, මංකොල්ල කෑම් වැනි අස්ථාවලදී අතරමැදියන් ලෙස ඉදිරිපත් එවැනි විශේෂිත පුහුණුව ලැබූ නිලධාරීන් කටයුතු කරයි.

තෝරාගත් මෙම නිලධාරීන් වෙත පත් වීම් ලිපි හා සහතිකපත් ප්‍රදානය ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන් අතින් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු වී තිබේ.

විශේෂයෙන්ම ගුවන් සේවා ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් වන හේග් සම්මුතිය සහ ටෝකියෝ සම්මුතිය මගින් සාමාජික රටවලට පනවා ඇති නියාමනයන් අනුව මෙවැනි සූදානමක් තිබීම අත්‍යවශ්‍ය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙතෙක් මේ සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් හඳුනාගෙන පත් කර නොතිබීම ගුවන් සේවා කර්මාන්තයේ ආරක්ෂාවට පැවැති විශාල අඩුවක් බව තේරුම් ගත් අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සිවිල් ගුවන් සේවා ආරක්ෂක කමිටුවේ නිර්දේශයන් මත මේ සදහා පියවර ගෙන ඇතැයිද  සඳහන් කරයි.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ මග පෙන්වීම යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂණ රෙගුලාසි) පී.ඒ. ජයකාන්ත මහතා ප්‍රමුඛ සිවිල් ගුවන් සේවා ආරක්ෂක අංශය මෙම වැඩපිළිවෙල අධීක්ෂණය කරයි.

තෝරාගත් මෙම සාකච්ඡා නිලධාරීන් පිරිසට අවශ්‍ය දේශීය හා විදේශීය පුහුණුවීම් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මූලිකත්වයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි.

Visits: 54