ඩො.මි. 87ක් පමණක් ආ ‘විශේෂ තැන්පතු ගිණුමට’ තවත් පහසුකම්

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑමත් සමගින්ම මෙරට තුළ විදේශ මුදල් තැන්පතු වර්ධනය කරගැනීමේ අරමුණින් රජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී දියත් කළ ‘විශේෂ තැන්පතු ගිණුම්’ සඳහා මේ දක්වා තැන්පත් කෙරී ඇත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 87ක මුදලක් පමණක් බව මහ බැංකුව සඳහන් කරයි.

මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකු තුළ මෙම විශේෂිත තැන්පතු ගිණුම ආරම්භ කිරීමේ අවස්ථාව ලබා දුන් අතර, එම තැන්පතු මුදල් පිළිබඳ තොරතුරු විමසීමකින් තොරවම තැන්පතු භාර ගැනීම මෙම ගිණුමේ විශේෂත්වය විය. එසේම මෙම තැන්පතු ගිණුම සඳහා ලබා දෙන පොළියද සාමාන්‍ය පොළී අනුපාතවලට වඩා වැඩි විය.

එහෙත් මෙම විශේෂිත තැන්පතු ගිණුම හරහා මෙරට කළු සල්ලි පැමිණිය හැකි බවටත්, ඒ හරහා දැනට ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහිව ක්‍රියාත්මක වැඩසටහන් වෙත බාධා එල්ල වන බවට අදහස් මතු විය.

කෙසේ වෙතත් මෙම විශේෂිත තැන්පතු ගිණුම සඳහා දැනට ලැබී ඇති මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් මෙම විශේෂ තැන්පතු ගිණුම්වලට අරමුදල් ලැබීමේ මූලාශ්‍ර පුළුල් කිරිම සඳහා එය දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර කිහිපයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Visits: 26