රටේ යහපතට කැපවන සැමට ‘ෆොන්ටෙරා’ සෙත් පතයි

කොවිඩ්-19 වසංගතයේ පැතිරීම පාලනය කිරීමට සමත්ව මෙරට දෛනික කටයුතු නැවත ආරම්භවීමත් සමගින්ම, ඇන්කර් නිෂ්පාදන වෙළඳපොළට රැගෙන එන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගියදා තම ප්‍රධාන කාර්යාලයේදී සර්වාගමික ආශීර්වාද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළ බව පවසයි.

වසංගතය පවතින කාලසීමාව තුළ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු ක්‍රියාකාරීව පැවතුණත්, එහි සියලුම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පැමිණියේ ජූලි 06 වන සඳුදා දින සිට බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී Covid-19 වසංගතයේ තර්ජනය පැවති කාලසීමාවේදී රට වෙනුවෙන් ඇපකැප වී සේවය කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායන්හි සාමාජිකයන් මෙන්ම, ෆොන්ටෙරා සමාගමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්, කිරි ගොවීන්, සැපයුම්කරුවන්, දීපව්‍යාප්ත නියෝජිතයන්, අලෙවිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියලුම දෙනා උදෙසා කෘතඥතා පූර්වකව සෙත් පැතීම සිදුව තිබේ.

මෙම සර්වාගමික ආශීර්වාද වැඩසටහන, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම එහි නව කළමනාකාර අධ්‍යක්ෂවරිය වන විද්‍යා සිවරාජා මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වී තිබේ.

මීට ඉහත මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ෆොන්ටෙරා මෙහෙයුම් කටයුතු වල ප්‍රධානියා බවට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ සිවරාජා මහත්මිය, දැන් තම උපන් රට වූ ශ්‍රී ලංකාව තුළද එම ගෞරවයට හිමිකම් කීමට සමත්ව සිටින බව සමාගම පවසයි.

මෙහිදී ඇය මෙරට සිට රටවල් 9 ක් පුරා විහිදුණු ව්‍යාපාර ජාලයක් මෙහෙයවනු ඇතැයිද සඳහන් වෙයි. තම වෘත්තීය ජීවිතයේ වසර 21 ක් පුරා රටවල් 18 කදී අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන ඇති සිවරාජා මහත්මිය එම අත්දැකීම් ඔස්සේ තම මවු රටට විශිෂ්ට සේවාවක් ඉටුකිරීම සඳහා පෙරමුණ ගැනීමට සූදානමින් සිටින බවත් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 17