ඈවර කර මෙරට හැරගිය AIG රක්ෂණ සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි රක්ෂණ සමාගමක් ලෙස ක්‍රියාත්මක වී 2014 වසරේදී මෙරටින් ඉවත්ව ගිය ලොව දැවැන්තම රක්ෂණ සමාගමක් වන AIG ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම සිය ඈවරකරු හරහා සමාගමේ ණය හිමියන් සහ හිමිකම්පාන්නන් වෙත නිවේදනයක් නිකුත් කර සිටියි.

අද දිනයේ පළ වූ ලංකාදීප පුවත්පතේ දැන්වීමක් පළ කරමින් AIG ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගමේ ඈවරකරු ලෙස පත්ව සිටින ජී.ජේ.ඩබ්ලිව් සමාගම අදාළ නිවේදනය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එහි සඳහන් ආකාරයට සීමාසහිත AIG ඉන්ෂුවරන්ස් සමාගම (‘සමාගම’) 2017 මැයි 13 වැනිදා සිට ස්වේච්ඡාවෙන් ඈවර වන බවත් සිය සමාගම එහි ඈවරකරු ලෙස නම් කර ඇති බවත් සියලු මහජනතාවට දැනුම් දෙනු ලබන පවසා ඇත.

“දැනට මෙම සමාගමේ ඈවර කිරීමේ කටයුතු අවසන් කෙරීගෙන යන අතර, සමාගම විසින් සම්මත කරගත් යෝජනා අනුකූලව මෙම සමාගමේ ණය හිමියන් හෝ හිමිකම්පාන්නන් වෙතොත් 2020 අගෝස්තු 31 දාට හෝ ඊට ප්‍රථම තම ඉල්ලීම් අදාළ ලියකියවිලි සමග සමාගමේ ඈවරකරු ලෙස පත් කොට ඇති පහත නම් සඳහන් අය වෙත ලැබෙන්නට සලස්වන මෙන් මෙයින් දන්වා සිටිනු ලැබේ.” මෙහි සඳහන් වෙයි.

ඒ අනුව ජී.ජේ.ඩේවිඩ් (ඈවරකරු) AIG ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, 03 වන මහල අංක  11, කාසල් පටුමග, කොළඹ 04 යන ලිපිනය සඳහන් කර ඇත. ඉමේල් ලිපිනය ලෙස gdavid@deloitte.com ලබා දී තිබේ. එසේම වැඩිදුර විස්තර සඳහා දුරකතන අංක 011 5444420/21 හරහා ඇමතිය හැකි බවත් එම සමාගම සඳහන් කර සිටියි.

ලොව රටවල් 130 කට අධික සංඛ්‍යාව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බහුජාතික රක්ෂණ සමාගමක් ලෙස AIG (American International Group, Inc) රක්ෂණ සමාගම 2000 වසරේදී ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබේ. මෙරට හේලීස් සමාගමත් සමගින් ඇති කරගත් ඒකාබද්ධ ගිවිසුමක් අනුව Hayleys AIG නමින් ඔවුන් මෙරට මෙහෙයුම් පවත්වාගෙන ගොස් ඇත.

පසුව 2005 වසරේදී ඔවුන් ජීවිත රක්ෂණ සැලසුම් අලෙවි කිරීම නවත්වා දමා ඇති අතර 2009 වසරේදී එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත පවරා ඇත. පසුව 2012 වසරේදී AIG සමාගම යළිත් දියත් කිරීමක් සිදු කෙරුණු අතර එම අවස්ථෘවේදී Chartis Insurance ලෙස එය ක්‍රියාත්මක විය.   

එහෙත් සිය සමාගමට එතරම් ඵලදායී නොවන ව්‍යාපාරික කටයුතු අත්හැර දැමීමට එහි මව් සමාගම තීරණය කිරීමත් සමගින්ම 2014 වසරේදී AIG ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම මෙරට මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වීමට පියවර ගෙන තිබුණි.

එම අවස්ථාවේදී මෙරටට පැමිණි AIG රක්ෂණ සමාගමේ කලාපීය කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය හමුවී වාචිකව ඒ පිළිබඳව දැනුවත් කළ බව මාධ්‍ය වාර්තා පළ වෙයි. එහෙත් හදිසියේම සමාගම් වෙත සිය ව්‍යාපාර නැවැත්විය නොහැකි බව පවසා ඇති සභාපතිවරිය මෙ ඉවත්වීම සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් ලිඛිතව ලබා දිය යුතු බවද අදාළ කලාපීය කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙත දන්වා ඇත.

එහිදී AIG ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට දැනුම් දී තිබෙන පරිදි ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල ප්‍රාග්ධනය සමාගමේ අනිකුත් ව්‍යාපාරික කටයුතුවල ආයෝජනය කිරීමට අදහස් කරගෙන ඇතැයි පවසා තිබේ.

එසේම එම සමාගම මෙරට තුළ සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් පමණක් සිදු කර ඇති බවත්, එය මෙරට රක්ෂණ වෙළෙඳ පොළ තුළ සමාගම් වෙළෙඳ පොළ කොටස 1.6%ක් පමණක් වන බවත් එම අවස්ථාවේදී සභාපතිනිය පවසා තිබේ.

ඒ අනුව එම සමාගමේ සේවය ලබා ගත් මෙරට රක්ෂිතයන්ට ගෙවිය යුතු මුදල් ගෙවන බවට සමාගම රක්ෂණ මණ්ඩලයට පොරොන්දු වූ බවත් මෙම මාධ්‍ය වාර්තා තුළ සඳහන්ව තිබුණි. එසේම සමාගමේ සේවය කළ මෙරට සේවකයන්ටද සාධාරණයක් ඉටු කරන බවද සමාගම සභාපතිවරිය වෙත එම අවස්ථාවේදී දන්වා තිබේ.

Visits: 303