යල කන්නයේ වී කිලෝවකට රු. 50ක සහතික මිලක්

2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර  ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

“පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර, අතිගරු ජනාධිපතිතුමාගේ ‘රට හදන සෞභාග්‍යය දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය‍ට අනුව, නව රජය විසින් 2019/2020 යල කන්නයේදී සියලුම වී වර්ග සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 බැගින් මිලදී  ගනු ලැබේ.” අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, මෙවර යල කන්නයේදී ද වී ගොවීන්ගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදීම සහතික කරමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම සඳහා  වී අලෙවි මණ්ඩල සතු දිවයින පුරා පිහිටි වී ගබඩා මේ වනවිටද විවෘත කර ඇතැයි පවසයි.

එහිදී ප්‍රමාදයකින් තොරව වී ගොවීන්ගේ මුළු අස්වනු ප්‍රමාණයම රජයේ සහතික  මිල  ගණන් යටතේ මිලදී ගැනීම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ද මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් වී අලෙවි  මණ්ඩලය වෙත නිකුත් කර ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 25