වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථික වර්ධන වේගයේ වෙනසක්?

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව තුළ මේ වසරේ ආර්ථිකවර්ධන වේගය 1.5%ක් ලෙස සටහන්ව තිබුණත් එය වසරේ දෙවැනි අර්ධයේදී එහි යම් වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද පෙරවරුවේදී මහ බැංකුවේදී පැවැත්වුණු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මේ කරුණු අනාවරණය කෙරිණි.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය වශයෙන් කෙටි කාලීන වර්ධන අපේක්ෂාවන් කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව දැනට පවතින ආර්ථික දත්ත අනුව 2020 වසරේ දෙවැනි කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහිද එමගින් දැඩි බලපෑමක් ඇති කර ඇතැයිද, වසරේ දෙවැනි භාගයේ දී ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.

“2020 වසරේ මහ බැංකු වාර්ෂික වාර්තාව සකස් කරන කොට රටෙහි ආර්ථික වර්ධන වේගය 4%ත් 4.5%ත් අතර අගයක් ගනීවි කියලා අපි බලාපොරොත්තු තබා තිබුණා. එය තමයි පසුගියදා නිකුත් වුණු මහ බැංකු වාර්ෂික වාර්තාවේ මුද්‍රණය කෙරුණේ. එහෙත් මේ කොවිඩ්-19 වසංගතය නිසා 2020 වසරේ ආර්ථික වර්ධන වේගය 1.5%ක් පමණ වේවි කියලයි අපි දැන් ගණන් බලලයි තියෙන්නේ. මේ අගය එහෙමම තියේවි කියලා කාටවත් කියන්න බැහැ.” හෙතෙම මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන්ම තවමත් 2020 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් එය ඉදිරි සතියේදී නිකුත් කරනු ඇතැයි විශ්වාස කරන බවත් අමරසේකර මහතා මෙහිදී පවසා සිටියේය.

“ඒ සංඛ්‍යාලේඛන දත්ත අනුව අපි මේ ආර්ථික වර්ධනය 1.5%ද එහෙමත් නැත්නම් කීයද කියලා බලනවා. කොහොම නමුත් අපි හිතනවා මේ වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථිකයේ සංකෝචනයක් තිබුණත්, මහ බැංකුව විසින් ගන්නා මුදල් ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග නිසා 2020 තෙවැනි සහ සිව්වැනි කාර්තුවලදී ඉතාමත් ධන ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ හැකියි කියලා.” මහබැංකු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Visits: 227