ලාෆ්ස් එකෝ සහ ලාෆ්ස් ලෙෂර් CSEහි ලැයිස්තුගතවීම් සිදු වෙනවාලු

ලාෆ්ස් හෝල්ඩිංග්ස් වෙත අයත් ලාෆ්ස් එකෝ ශ්‍රී ලිමිටඩ් (LES) සමාගම සහ ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් (LLL) යන සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගතවීමට අදාළ ක්‍රියාපිළිවෙත් මේ වනවිට සිදු වෙමින් පවතින බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී පියදාස කුඩාබාලගේ මහතා අනාවරණය කරයි.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට නියමිත මෙම සමාගම් දෙකට අදාළ 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල විගණන කටයුතු අවසන් අදියරේ පවතින බවත්, එම ප්‍රකාශන ලබන අගෝස්තු 31 වැනිදා වන විට කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී ලිපියක් හරහා කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කර සිටියි.

ලාෆ්ස් එකෝ ශ්‍රී ලිමිටඩ් සමාගම 2018 වසරේ සැප්තැම්බර් 11 වැනිදා පළමුවරට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගතවීමට අදාළ අයදුම්පත්‍රය ඉදිරිපත් කර තිබේ. ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් සමාගම 2019 දෙසැම්බර් මාසයේදී එම අයදුම්පත්‍රය ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස 2020 මැයි 18 වැනිදා සට 2020 ජූනි 10 වැනිදා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ලැබුණු ආවේක්ෂණ ලිපි සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත පැහැදිලිකිරීම් සැපයීම මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවද ලාෆ්ස් සමූහය සඳහන් කරයි.

අද වනවිට ලාෆ්ස් ගෑස් පීඑල්සී (LGL) සහ ලාෆ්ස් පවර් පීඑල්සී (LPL) යන සමාගම් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගතව සිටියි.

Visits: 361