Spa Ceylon 100 වැන්න ලිස්බන් නුවරදී විවෘත වෙයි

සුඛෝපභෝගී ආයුර්වේද සේවා සැපයෙන සහ නිෂ්පාදන අලෙවි කරන ලොව සුප්‍රසිද්ධ සමාගමක් වන Spa Ceylon සිය 100 වැනි අලෙවි සැල පසුගියදා පෘතුගාලයේ ලිස්බන් නුවරදී විවෘත කළ බව පවසයි. එසේම ඉදිරියේදී සිය 101 වැනි අලෙවි සැල පෝලන්තයේ වෝර්සෝ නුවරදීද, 102 වැන්න ස්ලෝවැකියාවේ බ්‍රාටිස්ලාවා නුවරදීද විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි Spa Ceylon සඳහන් කරයි.

ෂිවන්ත ඩයස් සහ ෂාලින් බාලසූරිය දෙපළ Spa Ceylon හි සම නිර්මාතෘවරුන් වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ නගර කේන්ද්‍ර කරගනිමින් පිහිටි අලෙවි සැල්වලට අමතරව, මේ වනවිට අසල්වැසි ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයින තුළත් Spa Ceylon ආයුර්වේද නිෂ්පාදන අලෙවි සැල් පිහිටා තිබේ.

ෂිවන්ත ඩයස් සහ ෂාලින් බාලසූරිය (Photo – BTOptions)

ඒ අනුව මේවනවිට ලොව මහාද්වීප හතරක් පුරා රාජ්‍යයන් 20කට ආසන්න සංඛ්‍යාවක නගර 50ක් තුළ Spa Ceylon අලෙවි සැල් පිහිටුවා තිබේ. මෙම අලෙවි සැල් සියල්ලම ඉහළ පාරිභෝගිකයන් පිරිසක් ගැවසෙන සුඛෝපභෝගී සුපිරි සාප්පු සංකීර්ණ සහ මුල් පෙළේ සිල්ලර අලෙවිසැල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.

මේ අතර, අද වන විට Spa Ceylon හි ප්‍රධාන මෙහෙයුම් රුසියාව, බල්ගේරියාව, සයිප්‍රසය, ක්‍රොඒෂියාව, පෝලන්තය, පෘතුගාලය, රොමේනියාව, ස්ලෝවැකියාව, ස්විට්සර්ලන්තය සහ යුක්රේනය ඇතුළු යුරෝපය වෙත විතැන් වී තිබේ. එසේම ඔස්ට්‍රියාව තුළ තවත් සුවිශේෂී සුවසේවා භාණ්ඩ අලෙවි සැල් 40ක් පිහිටුවීමටත් කටයුතු සමාගම යොදා ඇත. ඊට අමතරව නෙදර්ලන්තය, නෝර්වේ, ග්‍රීසිය සහ ලිතුවේනියාව තුළත් සිය සිල්ලර මෙහෙයුම් ඇරඹීමටද කටයුතු යොදා ඇතැයිද Spa Ceylon වැඩිදුරටත් පවසයි.

ඔස්ට්‍රේලියානුආසියානු කලාපය තුළදී අද වනවිට ජපානයේ ටෝකියෝ නගරය තුළ Spa Ceylon අලෙවිහලක් පිහිටා ඇති අතර දකුණු කොරියාවේ සෝල් නුවරදීද තවත් අලෙවිහල් පිහිටා තිබේ. එසේම මැලේසියාව සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙන්ම මෑතකදී හොංකොං නුවර සට තායිවානයේ තායිපෙයි නුවරදීද Spa Ceylon සිය මෙහෙයුම් අරඹා ඇත.

මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජින් දූපත්හිදී ආරම්භ කළ අලුත්ම Spa Ceylon අලෙවිසැලත් සමගින් එම සමාගම ඇමෙරිකානු කලාපය තුළද සිය මෙහෙයුම් තවත් පුළුල් කර ඇතැයි පවසයි. දැනටමත් එක්සත් ජනපදය තුළ සිය අලෙවිසැල් කිහිපයක්ම පවත්වාගෙන යාමට Spa Ceylon කටයුතු යොදා ඇත.

මේ අතර, ඉදිරියේදී උදාවන නව අවස්ථාවන්ද සමගින් Spa Ceylon  තවදුරටත් සිය ව්‍යාප්තිය පුළුල් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි. ඒ අනුව ඉදිරි මාස 12ක කාලය තුළදී රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් සහ එකාටෙරින්බර්ග් නුවරවලදී සිය අලෙවි සැල් විවෘත කිරීමටත්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, ප්‍රංශයේ ඉංග්ලන්ඩ් පැරිස්, ජර්මනියේ බර්ලින් සහ ඔස්ට්‍රියාවේ වියෙනා යන නගරවලදීද Spa Ceylon අලෙවි සැල් ඇරඹීම සැලසුම බවත් පවසයි.

ඒ අනුව වසර 2023 වන විට රටවල් 40කට වඩා වැඩි සංඛ්‍යාවක් පුරා ක්‍රියාත්මක වන ලෙස සිය අලෙවි සැල් සංඛ්‍යාව 200 දක්වා දෙගුණයකින් වැඩි කරගැනීමද Spa Ceylon හි සැලසුම වී තිබේ.

මෙම අලෙවිසැල් ජාලයට අමතරව අන්තර්ජාලය හරහා සිය නිෂ්පාදන අලෙවි කිරීම යටතේ Spa Ceylon දැනටමත් චීනයේ T-Mall සහ එක්සත් ජනපදයේ Amazon යන ලොව ප්‍රධාන පෙළේ ඉ -වානිජ වෙබ් අඩවි සමගින්ද සම්බන්ධව සිටින බවත් පවසයි.

Visits: 97