LankaPay වෙතින් නවතම ගෙවීම් ක්‍රමවේද දෙකක්

ලංකාක්ලියර් ආයතනය විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay මගින් වේගයෙන් සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි නවතම ක්‍රමවේද 2ක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි පවසයි. Payment Exchange Name (PEN) සහ Direct Debit Authorization (DDA) ලෙස මෙම ක්‍රමවේද හඳුන්වාදී තිබේ.

විශේෂයෙන්ම කොවිඩ්19 වසංගත සමයේදී පැනවූ ඇඳිරිනීති කාලසීමාවේදී ජනතාව අතර වැඩි වශයෙන් ප්‍රචලිත වූ මාර්ගගත (ඔන්ලයින්) ගනුදෙනු ක්‍රමවේද තවදුරටත් ජනතාව අතරට සමීප කරවීමේ උත්සාහයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරී ඇත.

මේ අතරින් PEN ක්‍රමවේදය LankaPay ආයතනයේ Common Electronic Fund Transfer Switch (CEFTS) ක්ෂණික ගෙවීම් ජාලය පදනම් කරගෙන හඳුන්වාදී ඇත. එනිසා මුදල් යැවීමේදී ලබන්නාගේ නම, ගිණුම් අංකය, ඔහුගේ බැංකුවේ නම, ශාඛාව වැනි තොරතුරු ඇතුළත් කිරීමකින් තොරව ඔහුගේ හෝ ඇයගේ දුරකථන අංකයට අදාළ කෙටි නම (Nickname) තෝරා පහසුවෙන්ම ඉලෙක්ට්‍රොනිකව මුදල් යැවීමට දැන් හැකියාව දැන් ඇයැති LankaPay පවසයි.

“මෙම ක්‍රමවේදය භාවිතයෙන් ගෙවීමේ නිරවද්‍යතාව සහ ආරක්ෂාව තහවුරු වන අතර, නව තාක්ෂණය එතරම් නුහුරු අයෙකුට වුවද පහසුවෙන් ඉලෙක්ට්‍රොනිකව ගෙවීම් කිරීමේ හැකියාව පවතී. එසේම කිසිදු ආකාරයක සංවේදී තොරතුරක් මේ ක්‍රමවේදය හරහා හුවමාරු නොවන බවත් මෙය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ක්‍රමවේදයක් බවත්” ලංකා ක්ලියර් ආයතනය පවසයි.

මෙම ක්‍රමවේදයේ ආරම්භක සාමාජික බැංකු ලෙස සම්පත් බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ වී ඇති අතර, අනෙකුත් මූල්‍ය ආයතනද ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා ඉතා ඉක්මණින් PEN ජාලය හා එක්වනු ඇති බවත් ආයතනය සඳහන් කරයි.

හඳුන්වාදී ඇති අනෙක් ගෙවීම් ක්‍රමය වන Direct Debit Authorization (DDA) මගින්, ගනුදෙනුකරුවෙකුට තම බැංකුව වෙත නියෝගයක් ලබාදීම හරහා තුන්වැනි පාර්ශ්වයකට නිශ්චිත දිනයකදී කිසියම් උපරිම සීමාවක් දක්වා මුදල් ගෙවීමට අවශ්‍ය බලය පූර්ව අනුමැතියකින් ලබාදිය හැකිය.

“විදෙස් රටවල ඉතා ජනප්‍රිය මෙම ක්‍රමය මගින් විදුලි, ජල, දුරකථන බිල්පත් මෙන්ම, රක්ෂණ වාරික වැනි මාසික ගෙවීම් නිරායාසයෙන් කරගත හැකි අතර, විශේෂයෙන් බැංකු, රක්ෂණ, ලීසිං වැනි ආයතන තමන් වෙත අයවිය යුතු මාසික වාරික නියමිත දිනටම අයකර ගත හැකි සාර්ථක ක්‍රමවේදයක් බවටද පිළිගෙන ඇත.” ලංකා ක්ලියර් ආයතනය වැඩිදුරටත්  පවසයි.

මෙම Direct Debit Authorization ක්‍රමවේදය දියත් කිරීමත් සමග මහජන බැංකුව, සෙලාන් බැංකුව, පබ්ලික් බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ඩොයිස් බැංකුව, LOLC ෆයිනෑන්ස්, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් වැනි මූල්‍ය ආයතන ඊට සම්බන්ධ වී තිබේ. එසේම තවත් ආයතන ගණනාවක්ද මීට එකතු වීමට සූදානමින් සිටින බවද ලංකා ක්ලියර් සඳහන් කරයි.

මෙම ක්‍රමවේද දියත් කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. කුමාරතුංග සහ ලංකාක්ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා යන මහත්වරුන් මෙන්ම, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රවී ද සිල්වා, ලංකාක්ලියර් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ දිනුක පෙරේරා යන මහත්වරුන් මෙන්ම, සාමාජික බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීහුද  එක්ව සිට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. කුමාරතුංග මහතා, ශ්‍රී ලාංකික ජනතාව අන්තර්ජාලය හරහා සිදු කරන මුදල් ගනුදෙනු සඳහා යොමු කිරීමට ප්‍රධානම අභියෝගය වන්නේ රට පුරාම ක්‍රියාත්මක වන ලෙස පිහිටා ඇති බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය බව පවසා සිටියි.

“වෙනත් රටවල පවතින බැංකු ගහනය ඉතාමත් කුඩායි. ඒ නිසා ඩිජිටල් ක්‍රමවේදයට මුදල් ගනුදෙනු සිදු කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැහැ. පසුගිය ඇඳිරිනීති කාලසීමාවේදී මෙම අන්තර්ජාලය හරහා සිදු කරන ගනුදෙනුවල 85%-90%ක වර්ධනයක් අපි දැක්කා. මෙය ඉදිරියටත් එලෙසින්ම පවතීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඒ මහතා සඳහන් කර තිබේ.

Visits: 275