ඩො.මි. 6.1ක අපනයන ඉලක්කයකට ‘ස්මාර්ට් ඇග්‍රෝ’ වැනිලා ව්‍යාපෘතිය

වසර 2022 වන විට වැනිලා කිලෝ 21,966ක් නිෂ්පාදනය කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 6.1ක අපනයනය ආදායම් ඉලක්කයක් ළගා කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් ‘ස්මාර්ට් ඇග්‍රෝ’ වැනිලා ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කළ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රෝපණ ද්‍රව්‍ය ලබා දීමේ සිට උපදෙස් ලබා දීම සහ වැනිලා අස්වැන්න මිලදී ගැනීම දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි ආයතනයක් වන ‍නැචුරල් වැනිලා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අත්වැල් බැඳගෙන සිටී.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික අංශය නව්‍යකරණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පළාත් කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අපනයන ගම්මාන 5,000ක් බිහි කිරීමේ වැඩසටහන යටතේ මධ්‍යම පළාත තුළ පිහිටුවනු ලැබූ ස්මාර්ට් ඇග්‍රෝ වැනිලා සමිති 14ක ප්‍රතිලාභීන් 1,190ක් සඳහා පළමු අදියර යටතේ රු.මි.  46.051ක් ලබාදීම සිදුව තිබේ.

ඒකකයකට පැල 100ක් බැගින් ස්මාර්ට් ඇග්‍රෝ වැනිලා ඒකක 1318ක් සඳහා මෙම මුදල් ලබා දීම සිදුව තිබේ. මේ සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නීති අංශ ප්‍රධානී, ව්‍යාපෘති කළමනාකරු (මධ්‍යම පළාත) ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ගැටඹේදී පැවැත්වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ස්මාර්ට් ඇග්‍රෝ සමිති ලියාපදිංචි කිරීම සහ සම්බන්ධීකරණය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු අපනයන සංවර්ධන නිළධාරීන් සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිකර්ම නිලධාරීන් මගින් සිදු කර තිබේ.

Visits: 95