ශ්‍රී ලංකාව සඳහා වන නව ලෝක බැංකු අධ්‍යක්ෂ පත්වෙයි

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය සඳහා වන නව ලෝක බැංකු අධ්‍යක්ෂවරයා ලෙස ෆාරිස් හදාද්-සෙර්වොස් (Faris Hadad-Zervos) මහතා 2020 ජූලි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත් කෙරී ඇතැයි වොෂිංටන් නුවර පිහිටි ලෝක බැංකු මූලස්ථානය පවසයි. මෙතෙක් එම ධුරයේ කටයුතු කළ IdahZ.Pswarayi-Riddihough මහත්මිය සිය වසර හතරක ධුර කාලය නිමා කිරීමත් සමග පුරප්පාඩුවූ ධුරය සඳහා හෙතෙම පත්ව තිබේ.

නේපාලයේ කත්මන්දු නුවර පිහිටි උප-කලාපීය කාර්යාලයේ සිට ඒ මහතා මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු සහයෝගය දක්වනු ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව දැනට මෙම රාජ්‍යයන් වෙත ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 5.5ක ලෝක බැංකු ආධාරවල වගකීම ඒ මහතා වෙත පැවරී තිබේ.

මෙරට ලෝක බැංකු හිටපු අධ්‍යක්ෂිකා IdahZ.Pswarayi-Riddihough

ඇමෙරිකා එක්සත් ජනපද ජාතිකයෙකු වන ෆාරිස් හදාද්-සෙර්වොස් මහතා 1996 වසරේදී ලෝක බැංකුව හා සම්බන්ධවී ඇත. මීට පෙර ඔහු මැලේසියාවේ සහ බොලිවියාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. එසේම ඔහු ගල්ෆ් සහයෝගිතා රාජ්‍යයන් හා එක්ව තාක්ෂණික සහයෝගිතා වැඩසටහනේ කළමනාකරු ලෙසද කටයුතු කර තිබේ. ඒ අනුව ඉරාක මෙහෙයුමේ ප්‍රධානියා, බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ මෙහෙයුම් කළමනාකරුවා ලෙසද ඔහු සේවය ලබා දී ඇත.

සිය නව පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ෆාරිස් හදාද්-සෙර්වොස් “කොවිඩ්-19 වසංගතය නිසා බලපෑමට ලක් වූ ජනතාවගේ ජීවිත සහ ජීවනෝපාය ආරක්ෂා කරගැනීමත්, ඒ සඳහා වන ආර්ථික යළි නගා සිටුවීම සඳහා සහාය ලබා දීමත් අතිශය වැදගත් කරුණක්.” යනුවෙන් පවසා තිබේ.

එහිදී සිය ප්‍රමුඛතාව වන්නේ මෙම කොවිඩ්-19 නිසා ඇති වූ සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් මඟහැරවීම සඳහා අවශ්‍ය ලෝක බැංකු මූල්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවත්, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය යන රටවල තිරසාර සංවර්ධන සඳහා අවශ්‍ය රැකියා උත්පාදන සදහා දායකත්වය ලබා දීම බවත් පවසයි. එහිදී රජයන්, සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශය මෙන්ම සිවිල් සමාජය සමගින්ද එක්ව කටයුතු කරන බව ඔහු පවසා තිබේ.

දැනටමත් ලෝක බැංකුව කොවිඩ්-19 හදිසි සහන සැලසීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක සහයෝගයක් ලබාදිමටද කටයුතු කර තිබේ. එහිදී වසංගතය හඳුනාගැනීම සහ එය වළක්වා ගැනීම සඳහා වන මහජන සෞඛ්‍ය පහසුකම් සූදානම් කිරිම වෙනුවෙන් එම මුදල් යෙදවෙයි.

මේ යටතේ ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 215 ක මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බව පවසන ලෝක බැංකුව රටෙහි ආර්ථික ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීම සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් අමතර ඩොලර් මිලියන 87.24ක් ලබා දෙන බවත් පවසයි. මීට අමතරව ප්‍රවාහන, නාගරික, ජල, අධ්‍යාපන සහ සෞඛ්‍ය යන එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර තුළ සිදුකරන ඩොලර් බිලියන 2.3ක් වටිනා ව්‍යාපෘති 20ක් සඳහාද ලෝක බැංකුව සහයෝගය ලබා දෙන බවත් පවසයි.

Visits: 126