ජන-අප්‍රේල් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම් 16%කින් අඩුවෙලා

මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ගත වූ මුල් මාස හතර තුළදී මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා ඉපැයූ ආදායම රුපියල් මිලියන 30,228.89ක් බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය පසුගිය වසරේ මුල් මාස හතරේදී ඉපැයූ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම වූ රුපියල් මිලියන 35,966.75ට සාපේක්ෂව 16%ක අඩුවීමකි.

එසේම එක්සත් ජනපද ඩොලර් වටිනාකමින් මෙම ආදායම අඩුවීම 19%ක් ලෙස සටහන්ව ඇත. එහිදී මේ වසරේ මුල් මාස හතරේදී ලැබූ ආදායම ඩොලර් මිලියන 164.04ක් වන අතර පසුගිය වසරේ එම කාලසීමාවේදී ලැබූ ආදායම ඩොලර් මිලියන 201.37ක් ලෙස සටහන් වෙයි.

මාර්තු මාසයේ සිට බලපෑ කොරෝනා වසංගත තත්ත්වය මෙලෙස පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ලෙස සැලකිය යුතු මට්ටමකින් බලපා ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ අලෙවි සහ පර්යේෂණ අංශය සඳහන් කරයි. විශේෂයෙන්ම මාර්තු සිට අප්‍රේල් දක්වා පැවැති ඇඳිරිනීති සීමා නිසා පොල් කැඩීම මෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තශාලා තුළ මෙහෙයුම් උපරිමව සිදු කිරීමට නොහැකිවීම ඊට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් මේ ආදායම් අතරින්ද වැඩිම ආදායමක් හිමිව ඇත්තේ පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙනි. එය රුපියල් මිලියන 15,240.20 ක් වෙයි. එහෙත් එය පසුගිය වසරේදී එම නිෂ්පාදන හරහා ඉපැයූ රුපියල් මිලියන 18,008.29ට සාපේක්ෂව 15% ආදායම් අඩුවීමක් ලෙස සටහන්ව ඇත.

දෙවැනි වැඩිම ආදායමක් හිමි කරදීමට සමත්ව ඇති පොල් කොහු ආශ්‍රිත නිමවුම් නිෂ්පාදන හරහා මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ලැබුණු ආදායම රුපියල් මිලියන 8,244.71 කි. එය පසුගිය වසරේදී එම අංශය හරහා ලැබුණු රුපියල් මිලියන 10,301.37ට සාපේක්ෂව 20%ක ආදායම් අඩුවීමකි.

තෙවැනි වැඩිම ආදායමක් හිමි කරදීමට සමත්ව ඇත්තේ පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන හරහාය. එය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් මිලියන 5,269.52ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2019 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ඉපැයූ රුපියල් මිලියන 5,937.46ට සාපේක්ෂව 11%ක අඩුවීමකි.

මෙට්ට සඳහා යෙදවෙන පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන හරහා මේ වසරේ මුල් මාස හතරට උපයා ඇති ආදායම රුපියල් මිලියන 1,402.88 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී එම අංශය හරහා ඉපැයූ රුපියල් මිලියන 1,641.88ට සාපේක්ෂව 15%ක අඩුවීමකි.

අවසන් වශයෙන් වෙනත් නිෂ්පාදන ලෙස සැලකෙන පොල් ලී ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා මේ වසරේ මුල් මාස හතරට ලබා ඇති ආදායම රුපියල් මිලියන 71.58 කි. එහෙත් එය පසුගිය වසරේ එම කාලසීමාවේදී එම අංශය හරහා ලැබූ ආදායම වූ රුපියල් මිලියන 77.74ට සාපේක්ෂව 8%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

පොල් සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව පසුගිය 2019 වසරේදී මෙම සමස්ත පොල් ආශ්‍රිත නිෂ්පාදන හරහා ලැබූ ආදායම රුපියල් මිලියන 108,946.41ක් ලෙස ගණන් බලා තිබේ. එය 2018 වසරේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන  හරහා ඉපැයූ රුපියල් මිලියන 94,722.62 ට සාපේක්ෂව 15%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Visits: 71