ඩේවිඩ් ලායු නායි පෙක් ‘ඩයලොග්’ සමාගමේ සභාපති ධුරයට

ඩයලොග් සමාගම අයත් ‘ඩයලොග් ආසියාටා පීඑල්සී’ සමාගමේ නව සභාපතිවරයා ලෙස ඩේවිඩ් ලායු නායි පෙක් (David Lau Nai Pek) මහතා පත් කර ගැනීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව 2020 ජූලි 01 වැනිදා සිට ඒ මහතා ඩයලොග් ආසියාටා සමාගමේ නව සභාපතිවරයා ලෙස වැඩභාරගන්නා බව පැවසෙයි. හෙතෙම  2020 මැයි 13 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද පත් කෙරිණි.

2012 වසරේ සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඩාටුක් අසාට් කමාලුදින් මහතා 2020 ජූනි 30 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්වීමත් සමග හිස් වූ තනතුර වෙනුවෙන් ඩේවිඩ් ලායු නායි පෙක් මහතා තෝරාපත් කරගැනීමට ඩයලොග් ආසියාටා පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු යොදා තිබේ.

මෙලෙස ආසියාටා මව් සමාගමේ නිර්දේශ අනුව පත් වූ අධ්‍යක්ෂවරුන් ලෙස ඩේවිඩ් ලායු නායි පෙක් සහ ඩාටුක් අසාට් කමාලුදීන් යන මහත්වරුන් දෙදෙනා වෙතම සභාපතිධුරයට පත්වූ අවස්ථාව වන විට ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍ය කොටස් අතරින් කොටස් 6,785,252,765 ක් එනම් 83.32%ක ප්‍රතිශතයක් හිමි වන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

එහිදී මෙම කොටස්වල හිමිකාරීත්වය ආසියාටා ඉන්වෙස්ට්මන්ට් (ලබුආන්) ලිමිටඩ් නම් (මීට පෙර ටෙලිකොම් මැලේසියා ඉන්ටර්නැෂනල් සමාගමට) ආසියාටා සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකට අයත් වෙයි.

ඩේවිඩ් ලායු මහතා ආසියාටා ගෘප් බර්හාඩ්හි ජ්‍යෙෂ්ඨ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. ඒ මහතා සතුව ඔස්ට්‍රේලියාව, බෘනායි, චීනය, මැලේසියාව, නවසීලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය යන විවිධ රටවල මූල්‍ය සහ මූල්‍ය සංවිධානයන්හි කටයුතු කර වසර 35කට අධික වෘත්තීය අත්දැකීම් සහිත බව පැවසෙයි.

ඒ මහතා වසර 30කට අධික කාලයක් මැලේසියාවේ ෂෙල් සමාගමේ කටයුතු කර ඇති අතර 2011 වසරේ  අගෝස්තු මාසයේදී ඉන් විශ්‍රාම ගෙන තිබේ. එම කාලසීමාවේදී ඔහු ෂෙල් සමාගමට අනුබද්ධව රටවල් රැසකදීම ප්‍රධාන ධුර දරා ඇත.

නවසීලන්තයේ කැන්ටබරි විශ්විවද්‍යාලයෙන් වාණිජ්‍ය පිළිබඳ උපාධියක්  හිමි කරගෙන ඇති ඩේවිඩ් ලායු නායි පෙක් මහතා, මැලේසියානු ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි. එසේම ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

ඩයලොග් ආසියාටා සමාගමේ සමස්ත කොටස් අතරින් 83.3%ක් මැලේසියාවේ ආසියාටා ගෘප් බර්හාඩ් වෙත අයත් වෙයි. ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට 2.92%ක කොටස් ප්‍රතිශතයක් අයත් වෙයි.

Visits: 291