ජාත්‍යන්තර මූල්‍ය සමායතනය කාර්ගිල්ස් ආයෝජනයෙන් ඉවත් වෙයි

කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමට අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත කාර්ගිල්ස් ෆුඩ් කම්පැනි (පෞද්) සමාගම වෙත ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC – International Finance Corporation) මගින් සිදු කර තිබූ ආයෝජනය ඉවත් කරගැනීම සඳහා එම සහයෝගිතාව අදහස් කර ඇතැයි වාර්තා වෙයි.

කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම අද දිනයේදී මේ පිළිබඳ කරුණු කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී හා කාර්ගිල්ස් ෆුඩ්ස් කම්පැනි (පෞද්) සමාගම අතර 2014 අගෝස්තු 22 වැනිදා මෙම එකඟතාවට අත්සන් තබා ඇත.

මෙහිදී කාර්ගිල්ස් ෆුඩ්සිටි වෙළෙඳ සැල් ජාලය සඳහා ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සිදු කර ඇති ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 2.5කි. ඒ හරහා කාර්ගිල්ස් ෆුඩ්ස් කම්පැනි (පෞද්) සමාගමේ කොටස් 8%ක ප්‍රමාණයක් මිලදී ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය සමායතනය කටයුතු යොදා තිබුණි. කාර්ගිල්ස් සිලෝන් (පීඑල්සී) සමාගට අනුව මෙම ආයෝජනය එම සමාගම 2013/2014 වසරේ සිදු කරන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයේ කොටසක් ලෙසට සඳහන් කර ඇත.

ඒ අනුව වසර 6 කට ආසන්න කාලයකට පසුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය මෙම ආයෝජනයෙන් ඉවත් වීමට තමන් අදහස් කරගෙන සිටින බව කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී වෙත දන්වා තිබේ.

පසුගිය ජූනි 29 වැනිදා පැවැත්වුණු කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය සමායතනය මගින් නිකුත් කර ඇති මෙම ඉවත්වීමේ නිවේදනය පිළිගැනීමට තීරණය වී ඇතැයි සඳහන් වෙයි.

Visits: 503