“කොටස් වෙළෙඳපො‍ළ වෙත මීට වඩා වැඩි සමාගම් ලැයිස්තුගතවීමක් අවශ්‍යයි”- සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනට පවතින සංඛ්‍යාවට වඩා වැඩි සමාගම් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවද පිළිගන්නා බව එහි සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා පවසයි.

විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මේ සඳහා ආකර්ෂණය කරගැනීම වැදගත් බවත්, ඒ සඳහා ප්‍රධාන පුවරුවේ සහ දිරිසවි පුවරුවේ පවතින ලැයිස්තුගතවීම් සඳහා අදාළ වන පියවර සහ උපදෙස් මෙන්ම එම අවශ්‍යතාවන් වෙත සිදු විය යුතු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමටද සුරැකුම්පත් කොමිෂන් සභාව දැනටමත් පියවර ගෙන ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා සම්බන්ධ කොටස්කරුවන් සමගින් මනා සබඳතාවක් පවත්වාගෙන යාමේ කටයුත්තේ එක් අවස්ථාවක් ලෙස ලංකා වානිජ මණ්ඩලයේ නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවකදී සභාපතිවරයා මේ අදහස් පළ කළ බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කරයි.

එම මණ්ඩලයේ නියෝජිතයන්, කොටස් වෙළෙඳ පොළ වෙත ලැයිස්තුගතවීම සඳහා තවත් සමාගම් වෙත උනන්දු කරවීමේ අවශ්‍යතාවක් පවතින බවට මෙම හමුවේදී පෙන්වා දුන් කරුණ අගය කරමින් සභාපතිවරයා මේ අදහස් දැක්වීම සිදු කර තිබේ.

“මේ නව රෙගුලාසි හරහා කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගතවීම සඳහා සුදුසු විකල්ප අවශ්‍යතාවන් ලෙස ආදායම, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය සහ ධනාත්මක මෙහෙයුම් මුදල් ප්‍රවාහ යන කරුණු හඳුන්වාදීමක් සිදු වෙනු ඇති. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, තොරතුරු තාක්ෂණ සමාගම් මෙන්ම ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සේවා ප්‍රවාහනය සිදු කරන සමාගම් ඇතුළු එකිනෙකට වෙනස් ව්‍යාපාරික මොඩල සහිත සමාගම් වෙත සිය ව්‍යාපාර ලැයිස්තුගත කිරිමේ අවස්ථාව හිමිවේවි.” යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

මේ අතර, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය යන ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සමන්විතව, කර්මාන්තකරුවන්ද ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳපොළ කොටස්කරුවන්ගෙන් යුත් ඉහළ කමිටුවක් පත් කිරීමත්, ඒ හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන තීරණ ගැනීමත් පිළිබඳවද ලංකා වාණිජ මණ්ඩලය යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙම අවස්ථාවේදී තවදුරටත් අදහස් දක්වා ඇති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා, කොවිඩ්-19 හේතුවෙන් පසුගිය කාලසීමාවේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ විවෘත කර තැබීමෙන් වැළැකීමට හේතු වූ කරුණු වාණිජ මණ්ඩලයේ පිරිස් වෙත පැහැදිලි කර දී ඇතැයිද කොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත් අනාගතයේදී එවැනි තත්ත්වයක් හමුවේ කොටස් වෙළෙඳ පොළ මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය තත්ත්වය ඇති කරවන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඒ සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ එක්ව පිහිටුවා ඇති ඒකාබද්ධ කමිටුව හරහා කොටස් වෙළෙඳපොල කටයුතු ක්‍රමයෙන් ඩිජිටල්කරණයට ලක් කරමින් සිටින බවත්, ඉදිරි මාස තුනක කාලය තුළදී එවැනි ක්‍රමවේදයක් පිහිටුවීමේ හැකියාවක් පවතින බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.  

මේ අතර ආයෝජකයන්ට සම්පූර්ණයෙන්ම ඩිජිටල් අත්දැකීමක් සඳහා අවශ්‍ය කෙරෙන ලෙස රෙගුලාසි වෙනස් කිරීම් සඳහාද සුරැකුම්පත් හා විනිමය කොමිෂම අනුමැතිය ලබා දී තිබේ. මෙම වෙනස්කම් සියල්ලමත් සමගින් කොටස්තැරැව්කරුවන්ට සිය සේවා සැපයීම් වඩාත් ශක්තිමත්, වැඩිදියුණු කළ කාර්යක්ෂමතාවකින් සහ පෙරට වඩා වැඩි කඩිසරබවකින් සිදු කිරීමේ අවස්ථාවද පවතින බව සභාපතිවරයා මෙම හමුවේදී අවධාරණය කර තිබේ.

Visits: 201