ලංකා බැංකුවට චීන සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 140 ක ණයක්

ලංකා බැංකුව (BOC) විසින් චීන සංවර්ධන බැංකුවෙන් (CDB) ඩොලර් මිලියන 140ක අරමුදල් සම්පාදනයක් සඳහා වන එකඟතා ගිවිසුමකට හෙට (2020 ජූනි 30) දිනයේදී අත්සන් තබන බව වාර්තා පවසයි.

වසර තුනක මූල්‍ය පහසුකම් සැපයීමක් ලෙස මෙම මුදල ලංකා බැංකුව වෙත ලැබීමට නියමිතව තිබේ. මෙහිදී ආකර්ෂනීය පොලියකට එම මුදල් සැපයෙන බවත් වාර්තා  පවසයි.

ඒ අනුව එහි පළමු අරමුදල් සැපයීම ලෙස ඩොලර් මිලියන 70ක මුදලක් ලබන අගෝස්තු මාසයේදී ලංකා බැංකුව වෙත හිමිවීමට නියමිතව ඇත. දෙවැනි ඩොලර් මිලියන 70 ලබන දෙසැම්බර් මාසයේදී පිරිනැමීමට නියමිතව ඇත.

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා හානියට පත්ව සිටින ව්‍යවසායකයන් සහ ව්‍යවසාය යළි නගා සිටුවීම සඳහා මෙම අරමුදල් සම්පාදනය කරගන්නා බව ලංකා බැංකුව සඳහන් කර සිටියි.

මේ පිලිබඳ වන අවසන් සාකච්ඡාව පසුගිය සිකුරාදා පැවැත්වී තිබේ. මේ සඳහා ලංකා බැංකුවේ වත්මන් සභාපති කංචන රත්වත්තේ, ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි, ලංකා බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ඩී.පී.කේ. ගුණසේකර යන මහත්වරුන් සහ ලංකා බැංකුවේ සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ද සහභාගි වී තිබේ.

Visits: 168