ETI සහ ද ෆිනෑන්ස් සතු සියලු දේපළ අත්පත් කරගැනීමට ජනපතිගෙන් උපදෙස්

අර්බුදයට ලක්ව ඇති එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සහ ද ෆිනෑන්ස් යන මූල්‍ය සමාගම් සතු සියලු දේපළ අත්පත් කරගෙන හෝ මෙතෙක් මුදල් ගෙවා නොමැති ගනුදෙනුකරුවන්ට සාධාරණය ඉටු කළ යුතු බව ජනපතිවරයා මහ බැංකුවේ ප්‍රධානීන් වෙත අවධාරණය කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදු වන ආකාරය සොයා බැලීම පිණිස අද (29දා) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කර තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධව හැකි ඉක්මණින්ම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනපතිවරයා මහ බැංකු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ. එහිදී ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළ යුතු යැයිද ජනපතිවරයා පවසා ඇත.

දැනටමත් මෙම ආයතන දෙකෙහිම ලක්ෂ 6කට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම් පළමු අදියර යටතේ සිදු කර ඇත.

ඒ අනුව ETI සහ ද ෆිනෑන්ස් සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බවද ජනපතිවරයා මෙහිදී පවසා තිබේ. එසේම මූල්‍ය ආයතනවලට ණය ගෙවීම පැහැර හරින පුද්ගලයන්ට එරෙහිවද දැඩි ක්‍රියාකරන බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා, මීළග මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියා කරන බවට ජනපතිවරයා වෙත සහතික වූ බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.

දැනටමත් ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. මහ බැංකුව මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු බවද සඳහන් වෙයි.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ නියෝජිත කණ්ඩායමක්ද සහභාගි වී ඇත.

Visits: 269