දුමිත් ප්‍රනාන්දු කොටස් වෙළෙඳ පොළ සභාපති ධුරයට

දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ වසර 25කට අධික අත්දැකීම් සහිත ආයෝජන බැංකු සභාපතිවරයෙකු වන දුමිත් ප්‍රනාන්දු මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස 2020 ජූලි 01 වැනිදා සිට වැඩ භාරගන්නා බව කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.

එහි වත්මන් සභාපතිවරයා වන රේ අබේවර්ධන මහතා වසර තුනක සිය දුර කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉන් ඉවත්ව යාමත් සමග හිස් වන සභාපති ධුරය සඳහා දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්කරගෙන ඇත. ඒ මහතා 2017 වසරේ සිටම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව කටයුතු කර තිබේ.

ආසියා සෙකියුරිටීස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ සභාපතිවරයාද වන දුමිත් ප්‍රනාන්දු මහතා ගෙවුණු වසර හයක කාලයක් එම සමාගමේ කටයුතු කරයි. සාංගමික මූල්‍ය උපදේශකත්වය, කොටස්තැරැව්කරණය, පර්යේෂණ සහ වත්කම් කළමනාකරණය යනාදී කටයුතු  එම සමාගම හරහා සිදු වෙයි. එසේම ඒ මහතා යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සහ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී යන සමාගම් දෙකෙහිම ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. මීට අමතරව දුමිත් ප්‍රනාන්දු මහතා ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

සිය වසර 25ක දේශීය සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ අත්දැකීම් සහිත ප්‍රනාන්දු මහතා ජේ.පී. මෝර්ගන් චේස් සහ ක්‍රෙඩිට් සුසිස් යන ගෝලීය බැංකු දැවැන්තයන් සමගින් නිව්යෝක් සහ හොංකොං යන නුවර වල පිහිටි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානවල කටයුතු කර තිබේ. 2013 වසරේදී යළිත් ලංකාවට පැමිණෙන තෙක්ම ප්‍රනාන්දු මහතා ක්‍රෙඩිට් සුයිස් ඒසියා පැසිපික් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ.

එක්සත් ජනපදයේ මිඩ්ල්බරි කොලේජ්හිදී භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳව මූලික උපාධියක් හිමි කරගෙන ඇති දුමිත් ප්‍රනාන්දු මහතා හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හි පශ්චාත් උපාධියක්ද හිමිය.

Visits: 228