කොරෝනා බලපෑ ව්‍යාපාරවලට මහ බැංකුවෙන් ඇප ආවරණ සහ පොලී සහන ණය

⋆ කුඩා ණය වෙනුවෙන් 80%ක සහ විශාල ණය වෙනුවෙන් 50%ක ණය ඇප ආවරණයක් බැංකු ආයතන වෙත මහ බැංකුවෙන් ලබා දෙයි

නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබා දෙන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොළී සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 ජූලි මස 01 වැනිදා සිට මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2020 ජූනි 26 වැනි දින පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව දැනට ප්‍රකාශයට පත් කර ඇති රුපියල් බිලියන 150ක ණය සීමාව තුළ ‘සෞභාග්‍යා COVID-19 පුනරුද සහන’ ණය යෝජනා ක්‍රමය සහ මුදල් නීති පනතෙහි 83 වැනි වගන්තියට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත සහන ණය පහසුකමට සමගාමීව,  ජූලි 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක වෙයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, පීඩාවට පත්වූ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් බැංකු ආයතන විසින් ලබා දෙනු ලබන ණය මුදා හැරීමේ හැකියාව ඉහළ නංවමින්, මහ බැංකුව විසින් කුඩා ණය වෙනුවෙන් 80%ක සහ විශාල ණය වෙනුවෙන් 50%ක ණය ඇප ආවරණයක් බැංකු ආයතන වෙත ලබා දීමට නියමිතය.

මේ යටතේ ණය අවදානමෙහි ඉහළ ප්‍රතිශතයක් මහ බැංකුව විසින් දරනු ලබන බැවින් ණය සුරැකුම් වෙනුවට පීඩාවට පත්වූ ව්‍යාපාරවල ශක්‍යතාව සහ මුදල් ප්‍රවාහ මත ණය ලබාදීමේ හැකියාව බැංකු ආයතනවලට හිමි වෙනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

“වසංගත කාලසීමාව තුළ මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300 කින් අඩු කිරීම නිසා මුදල් වෙළෙඳපොළ තුළ ඇති වූ රුපියල් බිලියන 180ක පමණ අතිරේක ද්‍රවශීලතාව නිසා බැංකු ආයතන ඔවුන්ගේ අරමුදල් උපයෝගී කොට ගෙන, ව්‍යාපාරවලට 4%ක පොලියට ණය ලබා දීම අපේක්ෂා කරනු ලබන අතර, අදාළ අරමුදල්වල පිරිවැය ආවරණය කිරීම වෙනුවෙන් මහ බැංකුව විසින් 5%ක පොලී සහනයක් බැංකු ආයතනවලට ලබා දෙනු ලැබේ.” මහ  බැංකුව පවසයි.

එසේම මෙම ණය යෝජනා ක්‍රමයෙහි බැංකු සඳහා වන මෙහෙයුම් උපදෙස් කඩිනමින් නිකුත් කරන බවත් මහ බැංකුව අවධාරණය කර සිටියි.

Visits: 137