HNB වෙතින් SME සඳහා රු. බිලියන 5ක ණය යෝජනා ක්‍රමයක්

කොවිඩ් 19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම සඳහා හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කර ඇති බව පවසයි.

ඒ අනුව එම අරමුදල බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගනු ඇතැයි බැංකුව සඳහන් කරයි.

ජොනතන් අලස්

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා “COVID-19 වසංගතය පැතිරීමේ අවදානම පාලනය කිරීම සඳහා රජයේ සහ සෞඛ්‍ය නිළධාරීන් ගත් තීරණාත්මක ක‍්‍රියාමාර්ගයෙන් පසුව රට ක‍්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතී. ඒ අනුව ඉදිරියට යමින්, මාස තුනකට ආසන්න කාලයක් අකර්මණ්‍ය වී තිබූ රටේ ආර්ථිකය නැවත ගොඩ නැගීම අපගේ ඊළඟ ප‍්‍රධාන අභියෝගයයි. මෙම ප‍්‍රයත්නයේදී සියලූම කොටස්හිමියන් සමඟ එක්ව කටයුතු කිරීමට HNB සම්පූර්ණයෙන් කැපවී සිටිනවා,” යනුවෙන් පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සෞභාග්‍යා කොවිඞ්-19 ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමයට සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ආධාර ලබා දීම සඳහා HNB හි මෙම කොවිඞ් අරමුදල උපරිමයෙන් යොදා ගන්නා බවත් පවසයි.

එබැවින් රජයෙන් ලබා දෙන 4% වාර්ෂික පොළී අනුපාතයට ණය අරමුදල ලබා ගැනීමට නොහැකි වූ අයදුම්කරුවන්ට උපරිම මාස 24ක් කාලයක් සඳහා වසරකට 8% සහන පොළී අනුපාතයකට HNB සහන අරමුදල හරහා වැඩ ඇරඹීමේ ප‍්‍රාග්ධන ණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

මේ අනුව, කොවිඞ් වසංගතය නිසා ඇති වූ බාධාවන් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබා දීමට HNB තමන්ටම අයත් අභ්‍යන්තර අරමුදලක් මගින් රජයේ අරමුණු සඳහා සහාය වීමට අපේක්ෂා කරයි.

සන්ජේ විජේමාන්න

මේ පිළිබඳව පැහැදිලි කරන HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා “මෙය දුෂ්කර කාලයක් බව බැංකුවක් ලෙසට අප දන්නවා. මෙවැනි දුෂ්කර කාල පරිච්ෙඡ්දවලදී ආපසු ගෙවීම් සඳහා අපට නම්‍යශීලී විය හැකි සෑම දෙයක්ම කරමින් මෙම දුෂ්කර කාල පරිච්‍ඡේදය ජය ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට හැකි සෑම ආකාරයකින්ම අප සහාය වෙනවා. සෞභාග්‍යා ණය යෝජනා ක‍්‍රමයෙන් ස්වාධීනව ක‍්‍රියාත්මක වන මෙම සහන අරමුදල හඳුන්වා දීම තුළින් ඉදිරි මාසවල ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පුනර්ජීවයක් ඇති කිරීමට උපකාර වනු ඇතැයි අප විශ්වාස කරනවා,” යනුවෙන් පවසා සිටියි.

මීට අමතරව, ජාතික ප‍්‍රමුඛතාවන් සමඟ සිය මෙහෙයුම් පෙළෙගැස්වීමට ද බැංකුව අපේක්ෂා කරයි. වත්මන් කොවිඞ් සම්බන්ධ දීමනා පැකේජවලට පෙර, අකර්මණ්‍ය වූ සර්ව ආර්ථික පරිසරයකින් ඇති වන අභියෝගවලට මුහුණ දී සිටි නිෂ්පාදන, සේවා, කෘෂිකාර්මික සහ අමතර වටිනාකම් එක් කළ ව්‍යාපාරවල නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ණය පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමට HNB දැඩි ලෙස සම්බන්ධ වී සිටින බවත් පවසයි.

Visits: 70