හිල්ටන් හෝටලය CSE ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට යයි

කොළඹ හිල්ටන් හෝටලය හිමි හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙද පොළෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන ඇතැයි වාර්තා වෙයි. හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම 100%ක්ම රජයට අයත් සමාගමක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

ඒ අනුව ඊට අදාළව කොළඹ කොටස් වෙළෙද පොළ තුළ ඇති සමාගමේ කොටස් එහි නිල ලැයිස්තුගත වීමෙන් ඉවත් කරගැනීම සඳහා අනුමත විය යුතු යුතු රෙගුලාසි සහ ක්‍රියාපිළිවෙත් පිළිබඳව කටයුතු කරන බව හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

2020 ජූනි 18 වැනිදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ යෝජනා සම්මත කරගෙන ඇත. ඒ අනුව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් එහි 1987 අංක 36 දරණ (සංශෝධිත) පනතේ රෙගුලාසි 5 (1) යටතේ සමාගමේ සුරැකුම්පත් සියල්ල කොළඹ කොටස් වෙළෙඳ පොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කරගැනීමට අදාළ කටයුතු සිදු වෙයි. එම කටයුතු විසඳීමත් සමගින්ම, ඉදිරි තීරණ ගැනීමේ බලය තනි කොටස් හිමිකරුවා වන මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට හිමිවීමට නියමිතව ඇත.

හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගමේ වර්තමාන සභාපතිවරයා වන්නේ සිරිනිමල් පෙරේරා මහතාය. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පී.පී. දෙනියාය සහ සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වූ ලාල් වීරසිංහ යන මහත්වරුන් කටයුතු කරයි.

පසුගිය රජය සමයේදී අවසන්වරට හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සීහි සභාපති ලෙස කටයුතු කළේ ක්‍රිෂාන්ත කුරේ මහතායි. වත්මන් රජය පත්වීමෙන් අනතුරුව 2019 දෙසැම්බර් 05 වැනිදා මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු වන ජේ.එම්.යූ.පී. ජයමහ මහතා එහි සභාපතිවරයා බවට පත් කෙරිණි.

2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන් වන කාලසීමාවට අදාළ අතරමැදි මූල්‍ය ප්‍රකාශනය ලබා දීමට අපොහොසත්වීම නිසා 2020 මාර්තු 06 වැනිදින හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ Watchlist ලැයිස්තුවටද ඇතුළත් විය.

සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ එහි හිටපු සභාපති ජේ.එම්.යූ.පී ජයමහ මහතා පසුගිය ජූනි 16 වැනිදා වන විට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ අතර, රජයට අයත් හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාළ වත්කම් ලෙස හඳුනාගෙන ඇති අධික වටිනාකමින් යුත් ග්‍රෑන්ඩ් හයාට්, හිල්ටන් මහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් යන හෝටල් සංවර්ධනය සඳහා එක් තනි ආයතනයක් පිහිටුවීමට රජය අවධානය යොමු කර ඇතැයි පසුගිය මාර්තු මාසයේදී අනාවරණය විය. 

මේ සම්බන්ධයෙන් වන යෝජනාව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා කර ඇති අතර ඊට අනුමැතියද හිමිව තිබේ.

ඒ අනුව, දැනට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිමිකාරීත්වය යටතේ පවතින කැන්විල් සමූහ ව්‍යාපාරයට අයත් ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හොටෙල් ඩිවලොපර්ස් පෞද්ගලික සමාගමට අයත් හිල්ටන් හෝටලය මෙන්ම ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පවතින ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන සමාගම් ත්‍රිත්වය, මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හිමිකාරීත්වය දරන එක් සමාගමක් යටතට පත් කිරීම මෙහිදී යෝජනා වී තිබේ.

පෙර ලිපි –
රජයට අයත් ග්‍රෑන්ඩ් හයාට්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සංවර්ධයට නව තනි ආයතනයක්
හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List වෙතට
ටෙලිකොම් සභාපති පුටුව නොලැබුණු නිමල් පෙරේරාට හොටෙල් ඩිවෙලොපර්ස් සභාපති පුටුව හිමිවෙයි

Visits: 680