හිටපු CSE සභාපති වජිර කුලතිලක සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපතිවරයා ලෙස 2014 සිට 2017 දක්වා කටයුතු කළ වජිර කුලතිලක මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරගැනීමට එම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව පවසයි.

ඊයේ පැවැත්වුණු සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව 2020 ජූනි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස වජිර කුලතිලක මහතා විධායක නොවන ස්වාධී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව බැංකුව කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කර සිටියි.

එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වන විට කුලතිලක මහතා සතුව සම්පත් බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් බැංකුව අවධාරණය කර සිටියි.

වජිර කුලතිලක මහතා සතුව ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35කට අධික අත්දැකීම් සපිරි අයෙකි. මීට පෙර ඒ මහතා නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ ආයෝජන බැංකුකරණ අංශයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. එසේම ඔහු 2014 වසරේදී ඒ මහතා හොඳම ආයෝජන බැංකු ප්‍රධාන විධායක නිලධාරියා බවටද පත්විය. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රය සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ග්ලෝබල් බෑන්කිං ඇන්ඩ් ෆිනෑන්ස් රිවීව් මගින් 2015 වසරේදී පිළිගැනීමටද ලක්විය.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක්ද සහිතව සිවිල් ඉංජිනේරු උපාධියකි හිමි කරගෙන ඇති වජිර කුලතිලක මහතා, තායිලන්තයේ ආසියානු තාක්ෂණික ආයතනයෙන් කාර්මික ඉංජිනේරුවිද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව උපාධියකි හිමි කරගෙන ඇත. එසේම වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකුද ඔහු එක්සත් රාජධෘනියේ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකත්වයද ලබයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති ධුරය දැරීමට අමතරව එම කාලසීමාවේදීම වජිර කුලතිලක මහතා දකුණු ආසියානු විනිමය හුවමාරු ෆෙඩරේෂනයේ (SAFE) හි සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති මලික් රණසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, නියෝජ්‍ය සභාපති ධාරා විජේතිලක, අනිකා සේනානායක, රනිල් පතිරණ,රුෂාන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සන්ජීව වීරවරණ, දෙෂාල් ඩි මෙල් විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

Visits: 192