ද ෆිනෑන්ස් වන්දි මුදල් ගෙවීමේ දෙවැනි අදියර ජූලි 02 සිට

පළමු වටයේදී තැන්පත්කරුවන් 105,000ක් වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවලා

මූල්‍ය අර්බුදයට ලක්ව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බලපත්‍රය අහෝසිකර ඇති ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීමේ දෙවැනි අදියර 2020 ජූලි 02 වැනි දින සිට ආරම්භ කරන බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එම ගෙවීම් එදින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් සිදු කෙරේ. මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත් කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000 ක් බවත් මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

මේ අතර, දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමත් සමග ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී විසින් ගෙවීම් තහවුරු කරනු ලැබූ අනෙකුත් සියලුම තැන්පත්කරුවන්ටද ගෙවීම් කිරීම එදින සිටම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පසුගිය ජූනි 07 වැනිදා ආරම්භ කරන ලද මෙම රක්ෂණ වන්දි ගෙවීමේ පළමු පියවර යටතේ තනි පුද්ගල ගිණුමක් හැර වෙනත් ගිණුම් කිසිවක් නැති තැන්පත්කරුවන් 105,000ක් වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීම ක්‍රියාක්මක වූ බව මහ බැංකුව පවසයි. මෙම දෙවැනි අදියර හරහා තවත් තැන්පත්කරුවන් 38,000 කට පමණ රක්ෂණ වන්දි මුදල් ලබා ගත හැකිය.

“ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලසීමේ අරමුණින් මෙම රක්ෂණ වන්දි මුදල් කාර්යක්ෂම ලෙස ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු ක්‍රියමාර්ග ගනී. රක්ෂණ වන්දි ගෙවීම සඳහා මහ බැංකුවේ නියෝජිත ආයතනය ලෙස මහජන බැංකුව පත් කරන ලද්දේ එම අරමුණ පෙරදැරිවයි.” මහ බැංකුව පවසයි.

මෙහිදී රක්ෂණ වන්දි ලබා ගැනීමේදී තැන්පතු සහතිකවල මුල් පිටපත්, අදාළ හැඳුනුම්පත් යනාදී අවශ්‍ය ලියකියවිලි නිසි ලෙස ඉදිරිපත් කිරීමෙන් මෙම කාර්යය සාර්ථක කරගැනීමට සහාය ලබා දෙන ලෙසද මහ බැංකුව ද ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙහිදී මහ බැංකුව අදාළ රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමේ කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පවතින ගැටලුවක් වෙතොත් ඇමතිය හැකි දුරකතන අංක කිහිපයක්ද ලබා දී තිබේ. විශේෂයෙන්ම මුදල් ලබා ගැනීමේදී මහජන බැංකුව ලබා දෙන උපදෙස් පරිදි කටයුතු කරන ලෙසද මහ බැංකුව තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

පෙර ලිපි –
මහ බැංකුව ආපසු ගෙවන්නේ ‘ද ෆිනෑන්ස්’ තැන්පතු වටිනාකමෙන් 16.51% ක් පමණලු

ද ෆිනෑන්ස් කඩා වැටීමට මහ බැංකුව වගකිව යුතුයි – අගමැති මහින්ද
ද ෆිනෑන්ස් ආයතනයෙන් ගත් ණය නොපියවන්නන්ට නීතිමය පියවර
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී බලපත්‍රය අවලංගු කෙරේ
ද ෆිනෑන්ස් අර්බුදයට මහ බැංකුව ඍජුවම වගකිව යුතුයි – ද ෆිනෑන්ස් සේවක සංගමය සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය
ද ෆිනෑන්ස් බලපත්‍රය අහෝසි කිරීම වඩාත් සාර්ථකම ක්‍රමයයි – මහ බැංකුව



Visits: 151