ප්‍රියන්ත විජේසේකර සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රධාන විධායක ධුරයට

බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20කට අධික අත්දැකීම් සපිරි ප්‍රියන්ත වීජේසේකර මහතා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් බව එම සමාගම පවසයි.

2013 වසරේ පිටන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය දැරූ නලින් විජේකෝන් මහතා එම ධුරයෙන් ඉවත්වීමත් සමග විජේසේකර මහතා මෙම තනතුරට පත්ව තිබේ. ඒ මහතා මීට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ විධායක උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

ප්‍රියන්ත විජේසේකර මහතා, ලීසිං, ෆැක්ටරිං, රක්ෂණ, එකතු කිරීම්, ප්‍රතිසාධන සහ නඩු කටයුතු ආදී පුළුල් පරාසයක විහිදුනු අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන වෘත්තිකයෙකු බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී පවසයි. එසේම වෘත්තියෙන් නීතිඥවරයෙකු සහ සොලිසිටර්වරයෙකු වන ඒ මහතා, වාණිජ බේරුම් කිරීම් සහ නැව් නීතිය සම්බන්ධ හසළ දැනුමකින් යුතු වෙයි.  

මර්චන්ට් බැංකු සමූහය සමග සම්බන්ධ වෙමින් බැංකුකරණ සහ මුල්‍ය ක්ෂේත්‍රයට පා තබන විජේසේකර මහතා පසුව සිටි නැෂනල් ඉන්වෙස්ට්මන්ට් බැංකුවේ ප්‍රධාන නීති සහ අනුකුලතා නිලධාරී ලෙස එම බැංකුවේ සේවයට එක්ව තිබේ. 2001 වසරේදී ඒ මහතා මර්චන්ට් ලීසිං ආයතනයේ නීති සහ මානව සම්පත් අංශයේ ප්‍රධානී ලෙස සේවයට එක්වන අතර එහිදී සිදුවන ඒකාබද්ධ වීම් සහ අත්කර ගැනීම් මාලාවක් හේතුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේත්, ජෝන් කීල්ස් සමූහයේත් කොටසක් බවට පත් විය.

එසේම හරිත ධාවනයක් මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා පළමු වරට ‘හරිත ලීසිං’ සංකල්පය මෙරටට හඳුන්වා දීමත්, ගැනුම්කරුවාගේත්, විකුණුම්කරුවාගේත්, මුල්‍ය සහකරුගේත් කාලයත්, ශ්‍රමයත් ඉතිරි කරමින් වාහන අලෙවි මධ්‍යස්ථානයේදී ම පරිපූර්ණ ලීසිං සේවාවක් පිරිනමන ‘ඔන්-සයිට් ලීසිං’ පහසුකම හඳුන්වා දීමත් විජේසේකර මහතා ලීසිං ක්ෂේත්‍රයේ ඉටු කර ඇති පුරෝගාමී මෙහෙවරට සාක්ෂ්‍ය දරයි.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය පාරිභෝගිකයන් හට අසමසම අගයක් පිරිනමන සේවා රැසක් සමගින් ඩිජිටල් මුල්‍ය සේවා සම්පාදකයා බවට පත්වීමේ ගමන වෙත විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත්ව ප්‍රවේශ වී සිටින බවත් සමාගම සඳහන් කරයි.

සිය නව පත්වීම පිළිබඳව අදහස් දක්වන නව ප්‍රධාන විධායක නිලධාරී විජේසේකර මහතා, “සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය යනු ‘Change is Good’ යන සංකල්පය කෙරෙහි විශ්වාසය තබන ආයතනයක්. එබැවින් ඩිජිටල් පදනමක් ඔස්සේ අපගේ පද්ධති සහ ක්‍රමවේද සකස් කරමින් අපගේ පාරිභෝගිකයන් හට අසමසම, ඩිජිටල් සහ පහසු සේවාවක් ලබා දිය හැකි ලියකියවිලිවලින් තොර අනාගතයක් කරා ගමන් කිරීම සඳහා අප කැප වනවා. අපගේ නව පාරිභෝගික ඉලක්කය වන්නේ මෙරට අනාගත නායකයන් වන තරුණ ප්‍රජාවයි.” යනුවෙන් පවසයි.

2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මුල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී විශේෂිත කල්බදු සමාගමක්ද වෙයි.

Visits: 189