කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණ වැඩපිළිවෙල ඇරඹේ

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මූලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලේ පළමු පියවරක් ලෙස මුද්‍රිත ගිණුම් ප්‍රකාශ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්තනය කිරීමටත්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් ලාභාංශ ගෙවිම් සෘජුවම කොටස් හිමියන්ගේ බැංකු ගිණුම් වෙත විද්‍යුත් තැන්පතු හරහා සිදුකිරීමට තීරණය කොට ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසයි.

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණ ක්‍රමවේදයකට පරිවර්තනය කිරිමේ පරිසරයක් තුළ එහි මුලික ක්‍රියාපටිපාටීන් හා යාන්ත්‍රණ ක්‍රමවේදය සාර්ථකව හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර පිහිටුවා ගත් ඒකාබද්ධ කමිටුවේ තීරණ අනුව මෙම කටයුතු සිදු වෙයි.

මෙම විද්‍යුත් පහසුකම් සැපයීමට අත්‍යවශ්‍ය වන පහත සඳහන් තොරතුරු 2020 සැප්තැම්බර් 10වන දිනයට පෙර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සියලු ගිණුම් හිමියන් විසින් තම කොටස් තැරැව්කාර සමාගම් වෙත ඉදිරිපත් කිරීම කළ යුතුව ඇත.

  1. විද්‍යුත් තැපැල් ලිපිනය (E mail)
  2. ජංගම දුරකථනය
  3. බැංකු ගිණුම්අංකය, බැංකුව සහ ශාඛාව

ඉහත සදහන් තොරතුරු සම්පුර්ණ කරන ලද CDS28 – විද්‍යුත් සේවා අයදුම් පත්‍රයක් (CDS 28 – e -Service form) තැරැව්කාර සමාගම/සහභාගිවන්නා හරහා මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ඉදිරිපත් කළ යුතුය.

එය www.cse.lk සහ www.cds.lk වෙබ් අඩවි හරහා මෙම අයදුම් පත්‍රය ලබා ගත හැකි අතර නැතහොත් කොටස් තැරැව්කාර සමාගම/සහභාගිවන්නා හරහාද ලබා ගත හැකි බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පළ වෙයි.

Visits: 300