මුදල් නෝට්ටුවෙන් පිළිබිඹු වන ජපාන ශ්‍රී ලංකා සබඳතාව

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලයක් පුරා පවතින මිත්‍රශීලී සබඳතාවන් පිළිබිඹු වන තවත් එක් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු ගෙනහැර දැක්විය හැකි බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ සහ සෞභාග්‍ය‍යේ ශක්තිමත් කුළුණක් ලෙස ජපානයේ දායකත්වය මින් ගෙනහැර දක්වන බවත් ඔවුන් සඳහන් කරයි.

“දැනට ශ්‍රී ලංකාව තුළ සංසරණයේ පවතින මුදල් නෝට්ටු මත ජපානය මෙරටදී සිදුකළ සුවිශේෂී නිල සංවර්ධන සහයෝගිතා (ODA – Official Development Assistance) ව්‍යාපෘති සටහන්ව තිබෙන අයුරු දැකීම ඉතාමත් ගෞරවයක් ලෙස සලකනවා. එහිදී ශ්‍රී ලාංකේය ජාතික සංකේතද සමගින් එම ව්‍යාපෘති සංකලනය වී තිබීම ඉතාමත් සුවිශේෂයි.” තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව දැනට භාවිතයේ පවතින රුපියල් 20 මුදල් නෝට්ටුව මත කොළඹ වරාය ව්‍යාපෘතිය, රුපියල් 50 නෝට්ටුව මත මනම්පිටිය පාලම් ව්‍යාපෘතිය සහ රුපියල් 1,000 මුදල් නෝට්ටුව මත රම්බොඩ උමඟ ව්‍යාපෘතිය යනාදී ලෙස ජපානයේ ආධාර යටතේ සිදු කළ නිල සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘති සටහන්ව තිබේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා (Jaica) ආයතනයේ සහයෝගිතාවයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වී ඇත.

මෙවැනි අතිවිශාල ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දීමෙන් ප්‍රතිමූර්තිමත් වන දෙරට අතර එක්සත්භාවය යළිත් සිහියට කැඳවමින් වර්තමාන ගෝලීය කොවිඩි-19 තර්ජනය හමුවේදීද ජපානය ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව සමගින් උරෙනුර ගැටෙමින් කටයුතු කරන බවත් ජපාන තානාපති කාර්යාලය මෙහිදී සඳහන් කරයි.

Visits: 151