ඡන්දෙට එන්න ‘සෙරෙන්ඩිබ් ඉංජිනියරිං’ උප සභාපති ධුරය අත්හරී

සෙරෙන්ඩිබ් ඉන්ජිනියරිං ගෘප් පීඑල්සී හා විධායක උප සභාපතිවරයා ලෙස කටයුතු කළ දුමින්දු කණිෂ්ක සේනානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එම සමාගම අද (18දා) කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ. 2020 පෙබරවාරි 11 වැනිදා සිට මෙම ඉවත්වීම බලාත්මක බවද සමාගම සඳහන් කරයි.

ඒ මහතා වත්මන් කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාද වෙයි. එළැඹෙන මහ මැතිවරණයේදී ඔහු සමගි ජාතික බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම මෙලෙස සෙරෙන්ඩිබ් ඉන්ජිනියරිං ගෘප් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වීමට හේතුව වී ඇතැයි වාර්තා පවසයි.

මෙම ඉල්ලා අස්වීම සිදුවන මොහොත වන විට ඒ මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකම් නොතිබූ බවද සමාගම සඳහන් කරයි. 

එසේම අදාළ ඉල්ලා අස්වීම පිළිබඳව තොරතුරු මීට පෙර එළිදරව් නොකර සිටීමට ප්‍රධානම හේතුව වැදගත් තොරතුරු කිහිපයක් ලැබීමේ සිදුවූ ප්‍රමාදයක් බවත් සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා සිටියි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටම්පා විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳව උපාධියක් හිමි කරගෙන ඇති දුමින්දු කණිෂ්ක සේනානායක මහතා, එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පදනම් උපාධියක්ද හිමි කරගෙන තිබේ.

හොල්සිම් ලංකා සමාගම හරහා සිය වෘත්තීය දිවිය ආරම්භ කර ඇති සේනානායක මහතා, 2009 වසරේ සිට 2013 වසර දක්වා එහි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කර ඇත.

එසේම පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය සමයේදී විධායක නොවන – ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද කටයුතු කළේය. ඒ සමගම ඉ-චැනලිං පීඑල්සී හි, මොබිටෙල් පීඑල්සී හි මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් ලිමිටඩ් යන සමාගම්හිද අධ්‍යක්ෂ ධුර දරා තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියද ඇතුළුව තවත් පෞද්ගලික ආයතන රැසකද ඉහළ තනතුරු ඒ මහතා දරා තිබේ.

Visits: 245