ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණ වාර්තාව එළි දකී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට පවත්වන ලද ශ්‍රී ලංකා කාල පරිහරණ සමීක්ෂණයේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. මෙම සමීක්ෂණය 2017 වසරේදී පැවැත්වුණි.

මෙම සමීක්ෂණය මගින් රැස් කරනු ලැබූ තොරතුරු හරහා රටේ ජනතාවගේ සුභසාධනය වැඩි දියුණු කිරීම සදහා වන ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍ය වටිනා තොරතුරු රැසක් මෙන්ම තිරසර සංවර්ධන දර්ශකාංකයක් වන ‘ගෙවීමක් සිදු නොකර සිදු කරන ගෘහස්ථ සේවා සහ රැකබලා ගැනීමේ කටයුතු වෙනුවෙන් වැය කරන කාලය’ පිළිබඳවද තොරතුරු සපයන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2017 වසරේ ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයට සමගාමීව එහි 4 වන කාර්තුව සඳහා තෝරාගන්නා ලද නියැදියේ නිවාස ඒකක 6,440ක් සඳහා මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කර තිබේ. ඒ අනුව මෙම නියැදියට තේරුණු නිවාස ඒකකවල වයස අවුරුදු 10 හෝ ඊට වැඩි පුද්ගලයන්ගෙන් ඔවුන් විසින් දවසේ පැය 24 තුළදී සෑම විනාඩි 15ක් තුළදීම ඔවුන් විසින් සිදු කළ සියලු කාර්යයන් පිළිබඳ තොරතුරු රැස් කර ගෙන තිබේ.

ඊට අමතරව එම කාර්යයන් සිදුකළ ස්ථානය (නිවසේද, කාර්යාලයේද, පොදු ස්ථානයකද ආදී වශයෙන්) මෙන්ම ක්‍රියාවන් කිහිපයක එකවර යෙදුනේ නමි එම තොරතුරුත් විශේෂයෙන්ම සකස් කරන ලද දිනපොතක නිවැසියන් විසින්ම සටහන් කරන ලද ක්‍රමවේදයක් මගින් දෙපාර්තමේන්තු සමීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලබා ගෙන තිබේ.

එසේම එම ක්‍රියාකාරකම් වර්ගීකරණය කිරීම සහ කේත කිරීම සදහා අන්තර්ජාතික කාල පරිහරණ ක්‍රියාකාරකම් වර්ගීකරණය (ICATUS2016) භාවිත කළ බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම සමීක්ෂණය මගින් රැස් කරන ලද වයස අවුරුදු 10ට වැඩි පුද්ගලයන්ගේ, රැකියාව හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්, ගෙවීම් රහිතව සිදු කරන ගෘහස්ත සේවා, වැඩිහිටි හෝ ළමා රැකබලා ගැනීමේ කටයුතු, ස්වේච්ඡා සේවා, අධ්‍යාපනික කටයුතු, සංස්කෘතික කටයුතු, විවේකය හා ජනමාධ්‍ය ඇසුර හා පෞද්ගලික ස්වස්ථතාවය ආදී කටයුතු වෙනුවෙන් වැය කරන කාලය හා ඒ ආශ්‍රිත තවත් වැදගත් තොරතුරු රාශියක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.

මෙම කාල පරිහරණ සමීක්ෂණය 2017 අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් (http://www.statistics.gov.lk/) බාගත කරගත හැකිය.

Visits: 169