ත්‍රී පෝෂ නිෂ්පාදනය සඳහා තවත් වසරකට හයිලන්ඩ් පමණයිලු

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම වෙත 2020/2021 වර්ෂය වෙනුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් සීමාසහිත මිල්කෝ (පෞද්ගලික) සමාගම වෙතින්ම පමණක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව අද දිනයේදී පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේදී අනාවරණය විය.

දේශීය කිරි ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් 2014 වර්ෂයේ සිට 2019 දක්වා ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය කිරිපිටි සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව සීමාසහිත මිල්කෝ (පෞද්ගලික) සමාගම වෙත පිරිනමා තිබුණි.

ඒ අනුව තවත් වර්ෂයක කාලයක් සඳහා එම කිරි පිටි මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව මිල්කෝ සමාගමට ලබා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිවරිය ඉදිරිපත් කරන ලද යෝජනාවක මෙම අනුමැතිය හිමිව තිබේ. 2014 වසරට පෙරාතුව මෙම කොන්ත්‍රාත්තුව මෙරට බහුජාතික සමාගමක් වෙත හිමිව තිබූ බව පැවසෙයි.

මෙම තීරණය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වා සිටි කැබිනට් සම ප්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, කිරි පිටි ආනයනය සඳහා ශ්‍රී ලංකාව වසරකට රුපියල් බිලියන 40ක් පමණ වැය කරන බවත්, ඒ අනුව එම අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළින්ම සපයා ගැනීමට රජය කටයුතු කරන බවත් පවසා සිටියේය.

“සම්පූර්ණ යොදය සහිත කිරිපිටි දැනට ශ්‍රී ලංකාව තුළ නිපදවෙනවා. ඒ සඳහා මිල්කෝ සමාගමත් තවත් දේශීය නිෂ්පාදකයොත් සිටිනවා. එම ත්‍රිපෝෂ සම්පාදනය කර ගැනීම සඳහා දේශීය නිෂ්පාදකයන් අතර තරගකාරී ලංසු කැඳවීම මගින් සම්පූර්ණ කරගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. එහිදී දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙම කිරි පිටි මිලදී ගන්නවා වගේම, ලංකාවට දැනට වාර්ෂිකව රුපියල් බිලියන 40කට අධික වටිනාකමකින් යුත් කිරි පිටි ආනයනය කරනවා.” යනුවෙන් පවසා සිටියේය.

ඒ අනුව ලංකාවට අවශ්‍ය සම්පූර්ණ කිරිපිටි ලංකාව තුළදීම නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය දිරි දීමනා දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ට ලබාදීමටත්, දේශීය දියර කිරී කර්මාන්තය වඩාත් ප්‍රවර්ධනය කර වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික ජනතාව දියර කිරි භාවිතය වෙත යොමු කිරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Visits: 423