අගෝස්තු 01ට පෙර කටුනායක ගුවන් තොට විවෘත කිරීමේ අදහසක්

විදේශයන්හි සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලබන අගෝස්තු 01 වැනිදාට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අදහසක් රජයට ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාතය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රට යළිත් සංචාරකයන්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා ගෙන්වා ගැනීම එහි අරමුණ බව අමාත්‍යවරයා පවසා ඇත.

වත්තල හා මීගමුව ප්‍රාදේශීය සභා හා නගර සභා නියෝජිතයන් සමග ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව අගෝස්තු 01 වැනිදාට පෙර විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අවසන් කළ හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත.

එහිදී මෙරට නිරෝධායන මධ්‍යස්ථාන තුළ පවතින ඉඩකඩ අනුව මෙම තත්ත්වය තීරණය වන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. “තවත් 20,000 ක් වගේ තමයි ලංකාවට එන්න ඉන්නේ. දැනටමත් 10,000 ක් විතර ඇවිත් නිරෝධායනය වෙනවා. අපි මේ කටයුත්ත වේගවත් කරන්න බලාපොරොත්තු වෙනවා.” අමාත්‍යරයා පවසා ඇත.

ලබන අගෝස්තු 01 වැනිදා සිට සංචාරකයන් සඳහා මෙරට විවෘත කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. එහිදී කණ්ඩායම් ලෙස සංචාරකයන් ගෙන්වීමට අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ. ඒ අනුව පැමිණෙන සියලු සංචාරකයන් අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

“සංචාරකයන් රටට ඇතුළු වෙන්න කලින් ඒ රටවලින් පී.සී.ආර්. පරීක්ෂණයක් කරලා වාර්තාවක් රැගෙන ආ යුතුයි. ඒ වාර්තාව තිබුණට අපි මෙහිදී ගුවන්තොටුපොළ තුළදීත් එම පරීක්ෂාව කරනවා. මේ ගැන සෞඛ්‍ය අංශ හරහා වගේම සංචාරක සංවර්ධන අධිකාරිය හරහාත් පරීක්ෂණ අධීක්ෂණ සිදු කරනවා. ඔවුන් යන එන හැම තැනක්ම අපි සොයා බලනවා. හිතුමගේ ඔවුන්ට රට තුළ සංචාරය කරන්න බැහැ.” අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Visits: 32