ජාතික වනෝද්‍යාන 7ක් හෙට සිට යළි විවෘත කෙරේ

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමගම පසුගිය මාර්තු 15 වැනිදා සිට අත්හිටවුණු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක සේවා මාස දෙකකට පසු හෙට (ජූනි 15දා) දිනයේ සිට නැවත ඇරඹීම සිදු වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරිය බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව මේ යටතේ පළමු අදියර ලෙස හෙට දිනයේදී ජාතික වනෝද්‍යාන 7ක් යළිත් සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බව වැඩිදුරටත් සඳහන් වෙයි. එහිදී රුහුණ (යාල), විල්පත්තුව, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල සහ පරෙවි දූපත මෙන්ම හෝර්ටන් තැන්න යන ජාතික වනෝද්‍යාන හෙට දිනයේදී මෙලෙස විවෘත කිරීමට නියමිතව ඇත.

මෙම වනෝද්‍යාන අතරින් යාන වනෝද්‍යානය අවසන් වරට විවෘත කෙරුණු පසුගිය මාර්තු 14 වැනිදා ඊට ඇතුළු වුණු සංචාරකයන් සංඛ්‍යාව 320 කි. එසේම උඩවලව ජාතික වනෝද්‍යානය වෙත එම දිනයේදී සංචාරකයන් 240 දෙනෙකු ඇතුළු වී තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙත ඇතුළු වී ඇති සංඛ්‍යාව 50 දෙනෙකි. මින්නේරිය ජාතික වනෝද්‍යානය සඳහා ඇතුළු වූ සංඛ්‍යාව 16 දෙනෙකි.    

මේ අතර හෙට දිනයේදී වනෝද්‍යානයට ඇතුළු කිරීමට අවසර දෙන වාහන සංඛ්‍යාව සීමා කෙරෙන බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව යාල සහ උඩවලව ජාතික උද්‍යාන වෙත එක් දිනකදී වාහන 150ක් පමණකුත්, විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙත වාහන 80ක් පමණකුත්, මින්නේරිය, කවුඩුල්ල සහ වස්ගමුව යන ජාතික උද්‍යාන වෙත වාහන 50කුත් යනාදී ලෙස සීමා කෙරී ඇත.

එසේම හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට එක් දිනකදී ඇතුළු විය හැක්කේ සංචාරක කණ්ඩායම් 50කට පමණකි. ඊට අමතරව පරෙවි දූපත ජාතික උද්‍යානය වෙත ඇතුළු විය හැක්කේ දිනකට බෝට්ටු 50ක් පමණකි. එහෙත් අනෙකුත් සියලුම ජාතික වනෝද්‍යාන වෙත පැමිණෙන පිරිස සීමා නොකෙරෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අනෙකුත් ජාතික වනෝද්‍යාන වන බූන්දල, හොරගොල්ල, ලුණුගම්වෙහෙර, ගල්ඔය, කුමන, අංගම්මැඩිල්ල, ගැල්වේස් ලෑන්ඩ්, මාදුරු ඔය, ලාහුගල සහ හික්කඩුව යන ස්ථාන ජූනි 22 වැනිදා යළි විවෘත කෙරේ. එසේම කල්පිටිය වැලිසර අභය භූමිය සහ මිරිස්ස යන මුහුදු ක්ෂීරපායින් නැරඹීමේ ස්ථාන සහ උඩවලව ඇත් අතුරු සෙවන විවෘත කිරීමත් එදිනට සිදු වෙයි.

මීට අමතරව සියලුම සංචාරක නිවාස සහ සියලුම කඳවුරු බිම් විවෘත කිරිම ලබන ජූනි 29 වැනිදා සිදු කෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

“කොවිඩ්-19 වසංගතයට එරෙහිව රජය විසින් අනුමත කර ඇති මාර්ගෝපදේශ වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, සංචාරකයින්, සංචාරක මගපෙන්වන්නන් සහ සෆාරි ජීප්රථ රියැදුරන් ඇතුළු පිරිස් තරයේ පිළිපැදිය යුතු අතර, එම උපදෙස් පිළිනොපදින අයවලුන් සඳහා සංචාරක සේවා සැපයීමෙන් වැළැකී සිටිනු ඇති. එසේම වනජීවී දෙපාර්තමේන්තුව විසින් පනවනු ලබන මාර්ගෝපදේශද එහි කාර්ය මණ්ඩලය, සංචාරකයින්, සංචාරක මගපෙන්නන් සහ සෆාරි රියදුරන් තරයේ පිළිපැදිය යුතුය.” දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

2018 වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය ජාතික වනෝද්‍යාන හරහා රුපියල් මිලියන 3,139.75ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. එහෙත් 2019 වසරේදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා එල්ල වූ ආරක්ෂක තර්ජනය හේතුවෙන්ද මාස කිහිපයකට එම ආදායම පහත වැටුණි. එසේම මේ වසරේ මාර්තු සිට ජුනි දක්වා මාස දෙකක කාලයක් එම වනෝද්‍යාන වසා දමා තැබීම නිසාද සැලකිය යුතු ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමිවී ගොස් තිබේ.

Visits: 50