අර්ජුන් ඇලෝසියස් ‘මෙන්ඩිස් සමාගමට’ යළි ඇස් යොමයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධානම චෝදනාව ලැබ වසරක කාලයක් සිරදඩුවම් විඳි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ජෝෂප් ඇලෝසියස් මහතා, සිය සමාගමට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ කළමනාකාරීත්වය යළිත් සියතට ගැනීමට අදහස් කරගෙන සිටින බව මාධ්‍ය වාර්තා පළ කරයි.

ඒ අනුව අද වන විට එම සමාගම වෙත මුදල් ආයෝජනය කර ඇති ජයසිරි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ අර්ජුන් ඇලෝසියස් අතර යම් ගැටුමක්ද හට ගෙන තිබෙන බව අද දිනයේ පළ වූ ද සන්ඩේ මෝර්නිං පුවත්පතේ වාර්තා තුළ සඳහන් වෙයි.

එහිදී ඇලෝසියස් මහතා වෙත මෙන්ඩිස් සමාගමේ කිසිදු කළමනාකරණ කටයුත්තක් වෙත මැදිහත්වීම වලක්වමින් නියෝගයක් පනවන ලෙසද ජයසිරි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම පසුගිය ජූනි 09 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇතැයි වාර්තා වෙයි.

අර්ජුන් ඇලෝසියස් සිය පර්පෙචුවල් කැපිටල් ලිමිටඩ් සමාගම හරහා 2011 වසරේදී ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමත් සමගම එහි සභාපතිවරයා බවට පත්විය. එතෙක් එම සමාගමේ හිමිකරුවා වූයේ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් මහතාය. එහිදී සිදුවුණු ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1කට අධික බව පැවසෙයි.

කෙසේ වෙතත් 2018 වසරේදී අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ඩිස් සමාගම විසින් වාණිජ බැංකු තුළ පවත්වාගෙන ගිය සියලු ගිණුම් අත්හිටුවීමට පියවර ගත්තේය. එසේම සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් බලපත්‍රය අහෝසි කෙරිණි. ඒ වසර ගණනාවක්ම ඔවුන් සුරාබදු නොගෙවා ඇති බවට චෝදනා කරමිනි.

ඒ අනුව බලපත්‍රය අහෝසි කර නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමට අදාළව හිඟ සුරාබදු මුදල් ගෙවීම, සේවක වැටුප් ගෙවීම, අවලංගු කළ බලපත්‍රය යළි ලබා ගැනීම මෙන්ම සමාගමේ ප්‍රධාන සංවර්ධන කටයුතු සඳහා යනාදී ලෙස ජයසිරි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මේ දක්වා රුපියල් මිලියන 800ක මුදලක් ආයෝජනය කර ඇතැයි සඳහන් වෙයි.

එසේම බැඳුම්කර වංචාවත් සමග දැඩි අපවාදයට ලක් වූ එම සමාගමේ සන්නාමය යළි ගොඩනැංවීම සඳහාද තමන් කටයුතු කළ බව ජයසිරි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම පවසයි.

කෙසේ වෙතත් අද වනවිට නීතීය අනුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ හිමිකාරීත්වය අර්ජුන් ඇලෝසියස් වෙත හිමිව තිබීම අදාළ ගැටලුව සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත කර ඇතැයිද ද සන්ඩේ මෝර්නිං පුවත්පත සඳහන් කර සිටියි. 

එහෙත් අර්ජුන් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් පවතින අයහපත් ප්‍රතිරූපය ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත අවාසාසහගත ලෙස බලපානු ඇතැයිද අදහස් පළ වී තිබේ.

ඒ අනුව තමන් සහ අර්ජුන් ඇලෝෂියස් අතර ඇති කරගෙන තිබෙන එකඟතාවට අනුව ඔහුට යළිත් වරක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ ව්‍යාපාර පරිශ්‍රය වෙත ඇතුළු වීම වළක්වමින් ජයසිරි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙම නඩුව ගොනුකර ඇත. මෙම නඩුවේ ඉදිරි නඩුවාරය ලබන ජූනි 16 වැනි අගහරුවාදා විභාග කිරිමට නියමිතව ඇත.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ මූලස්ථානය නාරාහේන්පිට පිහිටා ඇති අතර, කර්මාන්තශාලාව වැලිසර පිහිටා තිබේ. 1947 වසරේදී පිහිටවුණු මෙන්ඩිස් සමාගම 1960 වසරේදී නිපදවූ මෙන්ඩිස් අතිවිශේෂ අරක්කු වෙළෙඳ පොළ තුළ වඩාත් ජනප්‍රිය විය. 

පසු කාලයේදී සමාගම එකිනෙකට වෙනස් මත්පැන් වර්ග 27ක් පමණ වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට සමත් විය. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කෙරුණු අතර මෙන්ඩිස් නාමය ජාත්‍යන්තර මත්පැන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

Visits: 136