ෆිච් රේටිංග්ස් මෙරට මූල්‍ය සමාගම් 11ක වර්ගීකරණ සංශෝධනය කරයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් මගින් මෙරට මූල්‍ය සමාගම් 11ක් සඳහා ලබා දී තිබූ ජාතික දිගු-කාලීන ණය වර්ගීකරණයන් සංශෝධනයට ලක් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි. එම ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ජාතික ණය වර්ගීකරණ පරිමාණයේ සිදු කෙරුණු ප්‍රතික්‍රමාංකණයට අනුරූපව මෙම වෙනස් කම් සිදුව ඇතැයි ෆිච් රේටිංග්ස් සඳහන් කරයි.

2020 අප්‍රේල් 24 වැනිදා නිකුත් කළ ෆිච් රේටිංග්ස් ණය වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව වර්ගීකරණය B/Negative සිට B-/Negative දක්වා පහත දැමීම සිදු විය. ඒ සමගම මූල්‍ය සමාගම් පිළිබඳ වන ණය වර්ගීකරණයද පහළ වැටීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් මෙම ණය වර්ගීකරණය වෙනස් කිරීම හුදෙක් ජාතික වර්ගීකරණ පරිමාණයන් වෙනස්වීම හරහා සිදු වූවක් මිස එම මූල්‍ය සමාගම්හි ණය පිළිබඳ වන ගුණාත්මකභාවය හා සම්බන්ධතාවක් නොමැති බවත් ෆිච් රේටිංග්ස් අවධාරණය කරයි.

ඒ අනුව බැංකු යටතේ කොමර්ෂල් බැංකුව මෙතෙක් පැවැති AA(lka) වර්ගීකරණයේ සිට AA+(lka) දක්වාත්, හැටන් නැෂනල් බැංකුව AA-(lka) සිටAA+(lka) දක්වාත්, සම්පත් බැංකුව A+(lka) සිට AA- (lka)දක්වාත්, සෙලාන් බැංකුව A-(lka) සිට A (lka) දක්වාත්, කාර්ගිල්ස් බැංකුව A- (lka) සිටA+(lka) දක්වාත්, අමානා බැංකුව BB (lka) සිට BB+ (lka)දක්වාත් සංශෝධනයට ලක්ව තිබේ.

එසේම බැංකු නොවන මූල්‍ය ආයතන යටතේ, සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම A+(lka) සිට AA- (lka) දක්වාත්, එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමA(lka) සිට AA- (lka) දක්වාත්, සියපත ෆිනෑන්ස් සමාගම A- (lka) සිට A (lka) දක්වාත්, රිචර්ඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම BBB+ (lka) සිට A-(lka)දක්වාත්, ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් සමාගම B (lka) සිට B+(lka)දක්වාත් සංශෝධනය වී තිබේ.

මේ අතර ලංකා බැංකුව සහ මහජන බැංකුව සඳහා වන ජාතික වර්ගීකරණය AA+(lka)මට්ටමේ පවතින අතර එහි දැක්ම තවදුරටත් ඍණ (නෙගටිව්) ලෙස සඳහන්ව තිබේ. එසේම කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව සඳහා වන වර්ගීකරණයේ දැක්මත් ඍණ ලෙස සටහන්ව ඇත.

“සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් සහ එච්.එන්.බී. ෆිනෑන්ස් හි දැක්මත් ඍණ ලෙස සටහන්ව ඇත්තේ ඒවායේ මවු සමාගම් වන කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව සතු ඍණාත්මක දැක්ම පිළිබිඹු කිරීමක් ලෙසිනි. එසේම සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, කාර්ගිල්ස් බැංකුව, අමානා බැංකුව, සියපත ෆිනෑන්ස්, රිචර්ඩ් පීරිස් ෆිනෑන්ස් සහ ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් යන බැංකු සහ බැංකු නොවන මූල්‍ය සමාගම්වල දැක්ම වඩාත් ස්ථායිව පවතී.” ෆිච් රේටිංග්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 

Visits: 231