කොවිඩ්-19 නිසා මෙරට දැන්වීම්කරණ ක්ෂේත්‍රයටත් දරුණු බලපෑම්

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසය තුළදී මෙරට දැන්වීම්කරණ ක්ෂේත්‍රය වෙත දරුණු බලපෑමක් එල්ල වී තිබෙන බව සර්වේ රිසර්ච් ලංකා (Survey Research Lanka)ආයතනය පවසයි. එහි සභාපති නීල් ද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරීනි/අධ්‍යක්ෂිකා මිහිරානි දිසානායක යන දෙපළ විසින් සකස් කළ වාර්තාවක මේ කරුණු ඇතුළත්ව තිබේ.

විවිධ සමාගම් සහ සන්නාම හිමිකරුවන් මගින් මෙම කොවිඩ්-19 සමයේදී සහ පසුගිය 2019 වසරේ එම කාලසීමාවේදී රූපවාහිනි සහ ගුවන් විදුලිය යන සාම්ප්‍රදායික මාධ්‍ය තුළ සිය දැන්වීම් පළ කිරීම සඳහා සිදුකළ වියදම් පිළිබඳ තත්‍ය කාලීන දත්ත පදනම් කරගනිමින් පමණක් සර්වේ රිසර්ච් ලංකා ආයතනය මෙම වාර්තාව සකස් කර තිබේ. අද ඩේලිමිරර් පුවත්පතෙහි මෙම වාර්තාව පළ වී තිබුණි.

විශේෂයෙන්ම මෙරට මුල් පෙළේ පර්යේෂණ සහ උපදේශන සමාගමක් ලෙස ප්‍රකට සර්වේ රිසර්ච් ලංකා ආයතනය සිය මාධ්‍ය පර්යේෂණ හස්තය හරහා මාධ්‍ය වියදම් කිරීම් පිළිබඳ විශාල දත්තගබඩාවක් පවත්වාගෙන යන බවත් පවසයි.

“සෑම වසරකම අප්‍රේල් සහ දෙසැම්බර් මාසවලදී පවතින දැන්වීම්කරණ වියදම් ප්‍රවණතා වසරේ අනෙකුත් මාස 10 හා බැලූ විට යම් වෙනස්කමක් දකිනවා. විශේෂයෙන්ම එම මාස උත්සව මාසයන් වීම නිසා වැඩි වශයෙන් මාධ්‍ය තුළ මුදල් වියදම් කිරීමක් දක්නට ලැබෙනවා. බොහෝ සමාගම් සහ සන්නාම සතුව මේ වසරේ අප්‍රේල් මාසය සඳහාත් එවැනි සැලසුම් තිබූ බව අනිවාර්යය දෙයක්. එහෙත් කොවිඩ්-19 බලාපොරොත්තු නොවූ ආකාරයට ඒ සියලු සැලසුම් වෙනස් කළා.”

ඒ අනුව මෙරටට පමණක් නොව ගෝලීය වශයෙන්ද බලපෑමක් එල්ල වූ මෙම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 අ‍ප්‍රේල් මාසයේදී මෙරට සන්නාම රූපවාහිනි සහ රේඩියෝ දැන්වීම් සඳහා සිදු කළ මුදල් වියදම් කිරීම් ඉතා දරුණු ලෙස කඩා වැටී ඇතැයිද මෙම වාර්තාව තුළ සඳහන් වෙයි.

මෙහි දක්වා ඇති ආකාරයට 2019 වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රූපවාහිනි නාලිකා හරහා විකාශය වී ඇති දැන්වීම් සහ වෙනත් ප්‍රවර්ධන අවස්ථාවන් සංඛ්‍යාව 114,538 කි. එහෙත් එය 2020 අප්‍රේල් මාසයේදී 80,047ක් දක්වා එනම් 45%කට ආසන්න සංඛ්‍යාවකින් පහත වැටී ඇත.

එසේම 2019 වසරේ අප්‍රේල් මාසයේදී ගුවන් විදුලි නාලිකා හරහා විකාශය වී ඇති දැන්වීම් සංඛ්‍යාව 235,216ක් ලෙස සටහන්ව ඇති අතර, මේ වසරේ අප්‍රේල් මාසයේදී එම දැන්වීම් සංඛ්‍යාව 71,941ක් දක්වා 69% කින් දරුණු කඩාවැටීමකට ලක්ව තිබේ.

“මේ දත්ත මගින් පැහැදිලි වෙනවා වෙළෙඳ දැන්වීම්වල ගුවන් කාලයේ උපයෝගීතාවය වෙත කොවිඩ්-19 කොතරම් ප්‍රමාණයකින් බලපා තිබෙනවාද කියලා. ඒ වගේම ගුවන් විදුලි දැන්වීම් සඳහාත් එය කැපී පෙනෙන ලෙස බලපා තිබෙනවා.”

මේ අතර 2020 අප්‍රේල් මාසයේදී මෙම රූපවාහිනි සහ ගුවන් විදුලි දැන්වීම් සඳහා දැන්වීම්කරුවන් වියදම් කළ මුදලේ වටිනාකමද මේ වසරේ ජනවාරි මාසයේදී වියදම් කළ මුදලට සාපේක්ෂව 56% කින් අඩු වී ඇතැයිද මෙම වාර්තාව සඳහන් කරයි. අදාළ රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවල දැන්වීම් මිල වටිනාකම් ඇතුළත් රේඩ්කාඩ් වටිනාකම් අනුව මෙම අගයන් සකස් කර තිබේ.

එහි දැක්වෙන අන්දමට 2020 අප්‍රේල් මාසයේදී මෙම දැන්වීම් සඳහා සිදු කර ඇති වියදම රුපියල් බිලියන 2.9 කි. එහෙත් ජනවාරි මාසයේදී එනම් මාස තුනකට පෙරාතුව එය රුපියල් බිලියන 6.7ක් ලෙස සටහන්ව ඇත. ඒ අනුව මෙය රූපවාහිනි දැන්වීම් වියදමේ 55%ක අඩුවීමක් සහ ගුවන් විදුලි දැන්වීම් වියදමෙහි 65% ක අඩුවීමක් ලෙස සටහන්ව ඇත.

“සමස්ත දැන්වීම් සඳහා වන වියදමෙන් 80% ත් 85%ත් අතර ප්‍රමාණයකට වගකියන්නේ රූපවාහිනියයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ වසරේ අප්‍රේල් සහ දෙසැම්බර් මාසවලදී මේ දැන්වීම් සඳහා වන වියදම අනෙක් මාසවලට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ යනවා. උදාහරණ විදියට ගත්තොත් 2019 වසරේ ජනවාරි මාසයට වඩා 2019 අප්‍රේල් මාසයේදී සමස්ත දැන්වීම් වියදම 11.5% කින් ඉහළ ගියා. එය පාස්කු ප්‍රහාරය නිසා එල්ල වූ සතියක බලපෑමක්ද සමගයි. එහෙත් මේ වසරේදී මේ වසරේදී රූපවාහිනි සහ ගුවන් විදුලි සඳහා වන සමස්ත දැන්වීම් වියදම 56%කින් අඩුවෙලා.”

සර්වේ ලංකා රිසර්ච් ආයතනය පවසන ආකාරයට 2020 අප්‍රේල් මාසයේදී සිදු කෙරුණු සමස්ත රුපවාහිනි සහ ගුවන් විදුලි දැන්වීම් වියදම් අතරින් 47.5% ක ප්‍රතිශතයක් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් අතර බෙදී ගොස් ඇත. ඒ අතරින් වැඩිම ප්‍රතිශතය වන 21.2% අයත් වන්නේ දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයටයි. ඉන් අනතුරුව බැංකු සහ මූල්‍ය ආයතන වැඩිම දැන්වීම් වියදමක් දරා ඇති අතර එය 16.5% කි. රක්ෂණ සමාගම් සිදු කර ඇති දැන්වීම් වියදම 9.8% කි.

ඉතිරි 52.5% ක සමස්ත ප්‍රතිශතය විවිධ නිෂ්පාදන කාණ්ඩ 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් අතර බෙදී ගොස් තිබේ. කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේදී ඉහත සඳහන් කළ ක්ෂේත්‍ර තුනෙහි දැන්වීම් වියදම සමස්තයෙන් 18.9% ක් ලෙස සටහන්ව තිබීමත් විශේෂත්වයකි. එසේම පසුගිය 2019 අප්‍රේල් මාසයේදී එය 23.8% ක් ලෙසත් සඳහන්ව තිබේ.

“මෙය පැහැදිලිවම පෙන්නුම් කරනවා දුරකතන සන්නිවේදන, බැංකු සහ රක්ෂණ ක්ෂේත්‍රයන් මෙම කොවිඩ්-19 නිසා ඇති වුණු වෙළෙඳ පොළ අස්ථාවරත්වය තුළ ඇති වූ දැන්වීම් වියදම් අඩු කිරීම් හමුවේත් යම් ඉහළ නියෝජනයක් සිදු කර ඇති බව.” එම වාර්තාව සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම ක්ෂේත්‍රවලට අමතරව අනෙකුත් නිෂ්පාදන වෙත මෙම කොවිඩ්-19 හරහා සිදු වූ බලපෑම මෙලෙස දැන්වීම් සඳහා මුදල් වියදම් කිරිම් සීමා කිරිමට හේතු වී තිබේ. උදාහරණ ලෙස කොවිඩ්-19 නිසා පැනවූ සීමා කිරීම් නිසා නිෂ්පාදනයේ අඩාල වීම්, තොග අවසන් වීමේ තත්ත්වයන්, බෙදාහැරීමේ ගැටලු, ගනුදෙනුකරුවන් වෙත නිෂ්පාදන අලෙවි කිරීමේ දුෂ්කරතා මෙන්ම ඇතැම් නිෂ්පාදන මෙම කාලසමයේදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වීමත් මේ සඳහා හේතු වී ඇතැයිද සර්වේ රිසර්ච් ලංකා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 110