ජර්මානු රජයෙන් යූරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

ක්ෂේත්‍ර තුනක් සඳහා ජර්මානු තාක්ෂණික සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ජර්මානු රජය අතර ගිවිසුමකට එළැඹීම අද දිනයේදී සිදු වුණු බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ ජර්මානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් යන මහත්වරුන් මෙම එකඟතාව සඳහා අත්සන් තබා තිබේ.

ජර්මානු ආධාර ලැබෙන මෙම ක්ෂේත්‍ර තුන යටතේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතියක් සහ අධ්‍යයන හා විශේෂඥ අරමුදලක් යනාදී ලෙස ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අතරින් මෙරට තරුණ පරපුර සඳහා ඉල්ලුම මත  පදනම්ව වෘත්තීය පුහුණුව ලබාදීමට අදාළ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය යටතේ ලැබෙන තාක්ෂණික ආධාරවල වටිනාකම යූරෝ මිලියන 07කි. එසේම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳ පොළ තුළ ඇති තරගකාරීත්වය වැඩි කිරීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලැබෙන තාක්ෂණික ආධාරල වටිනාකම යූරෝ මිලියන 3.5 කි.

මීට අමතරව නව ව්‍යාපෘති සැකසීමේදී අවශ්‍ය අධ්‍යයනයන් සිදු කිරීමටත්, කුඩා පරිමාණයේ ව්‍යාපෘති මූලනය කිරීමටත් යනාදී ලෙස ජර්මානු විශේෂඥයන්ගේ සේවා ලබා ගැනීම වෙනුවෙන් අධ්‍යයන හා විශේෂඥ අරමුදල පිහිටුවෙයි. එහි වටිනාකම යූරෝ මිලියන 0.5 කි.

මෙම ව්‍යාපෘති ජර්මානු රජයේ GTZ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

“වෘත්තීය පුහුණු සහ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන් වල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරණ ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මඟින් තාක්ෂණික හා ප්‍රදාන අධාර සහයෝගීතාවයන් ලබා දෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.” මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම එකඟතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ GTZ ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටීන් ඉයන්ෆීල්ඩ් යන මහත්මමහත්මීන්ද සහභාගි වී තිබේ.

Visits: 51