ඉසුරු බාලපටබැදි පීපල්ස් ඉන්ෂුවරන්ස් සභාපති ධුරයට

මහජන බැංකුවට පූර්ණ අනුබද්ධිත පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි නව විධායක නොවන ස්වාධීන නොවන සභාපතිවරයා ලෙස හිමෂි ඉසුරු බාලපටබැදි මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 ජූනි 08 වැනිදා සිට මෙම නව පත් කිරීම බලාත්මක වෙයි.

සමාගමේ හිටපු සභාපතිවරයා වූ ජෙහාන් ප්‍රසන්න අමරතුංග මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ තනතුර සඳහා මෙලෙස බාලපටබැදි මහතා පත්වී තිබේ.

බාලපටබැදි මහතා මීට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සෙලාන්  බැංකුව සහ ලංකා බැංකුව යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. වෘත්තියෙන් නීතීඥයෙකු වන ඒ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාහි පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් L.L.M උපාධිය හිමි කරගෙන ඇත.

ඔහු කලක් නීතිපති ජනරාල් දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතීඥවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඉන් අනතුරුව ඔහු 2008 සිට 2010  වසර දක්වා කාල සීමාවේදී නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ලෙස පත්වීම් ලැබුවේය. එසේම එහිදී රසායනික ආයුද පිටුදැකීම සහ පෞද්ගලික ජාත්‍යන්තර නීතිය පිළිබඳ හේග් සම්මුතියේ ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස කටයුතු කළේය.

2012 වසරේදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා ලෙසද හෙතෙම කටයුතු කර තිබේ. නීතීඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇති බාලපටබැඳි මහතා 2007 වසරේදී එම සංගමය මගින් සංවිධානය කරනු ලබන කණිෂ්ට ජාතික නීතී සම්මේලනයේ සභාපතිවරයා ලෙසද පත්වීම් ලැබීය. එසේම 2020 වසරේදී ජාතික නීතී සම්මේලනයේ කැඳවුම්කරුවා ලෙසද කටයුතු කර තිබේ.

Visits: 85