බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව ප්‍රධාන රක්ෂණ සන්නාම වටිනාකම් අඩුවෙලා

ලෝකයේ මුල් පෙළේ ස්වාධීන සන්නාම ඇගයීම් සහ ක්‍රමෝපායික උපදේශන කටයුතු සිදු කරන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව වන ‘බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද 2020 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 100 පිළිබඳ ඇගයීම පසුගියදා නිකුත් විය. එහිදී සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ අතරින් වඩාත් වටිනාම රක්ෂණ සන්නාම ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව මේ වසරේදී  බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකාහි පළමු ස්ථාන ලබා ගෙන තිබෙන සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ සමාගම්හි වටිනාකම් යම් පහළ බැසීමක් වාර්තා කර තිබෙන බව සඳහන් වෙයි. විශේෂයෙන්ම ඇතැම් සමාගම් ඒකාබද්ධ වීම සහ ඇතැම් සමාගම් තවත් සමාගම් අත්පත් කරගැනීම් මෙන්ම ක්ෂේත්‍රය සඳහා නව සමාගම්වල ආගමනයත් මෙම ක්ෂේත්‍රයේ සිදු වුණු සෙලවීම සඳහා හේතු වූ බව බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

“එහිදී වසරේ අලුතින් ක්ෂේත්‍රයට එකතු වූ රක්ෂණ සමාගම් හරහා යම් වෙනසක් අපට දකින්නට ලැබුණා. ඒ වගේම දැනට පවතින මුල් පෙළේ සන්නාම වෙත ඒ හරහා අනාගතයේදී අභියෝගයක් එල්ල විය  හැකියි.”

මෙම වාර්තාවට අනුව 2020 වසරේ රක්ෂණ සන්නාම අතරින් පළමු තැනට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමයි. ඔවුන් ලබා ගෙන ඇති සන්නාම වටිනාකම රුපියල් මිලිය න 3,834 කි. කෙසේ වෙතත් එය 2019 වසරේදී ඔවුන් ලැබූ රුපියල් මිලියන 4,815 ක සන්නාම වටිනාකම හා සැසඳීමේදී 20%ක පහත බැසීමකි.

“සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය ගත්තහම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වටිනාම රක්ෂණ සන්නාමය වගේම ශක්තිමත්ම  රක්ෂණ සන්නාමය බවටත් පත්ව තිබෙනවා. සන්නාම වටිනාකමේදී 20%ක අඩුවීමක් පෙන්නුම් කළත්, එය වඩාත් වටිනාම සන්නාම අතරින් 31 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.”

2020 වසරේදී රක්ෂණ ක්ෂේත්‍රයේ සන්නාම වටිනාකම අතරින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ සමාගමයි. ඔවුන් සතු සන්නාම වටිනාකම රුපියල් මිලියන 3,658 කි. එහෙත් එය 2019 වසරේදී ඔවුන් හිමි කරගත් රුපියල් මිලියන 3,754 ක සන්නාම වටිනාකම හා සැසඳීමේදී 3%ක පහත බැසීමකි.

“මේ වසරේදී සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මේ වසරේ වඩාත් වටිනාම ජීවිත රක්ෂණ සන්නාමය බවට පත්ව තිබෙනවා. එහෙත් එය පසුගිය වසර හා සැසඳීමේදී 3%ක අඩුවීමක්.”

රක්ෂණ ක්ෂේත්‍රයේ තෙවැනි වටිනාම රක්ෂණ සන්නාමයට හිමි තැන හිමි කරගෙන ඇත්තේ සෙලින්කෝ ජෙනරල් රක්ෂණ සමාගමයි. එහි වටිනාකම රුපියල් මිලියන 3,052 කි. එහෙත් එය 2019 වසරේදී ඔවුන් හිමි කරගත් රුපියල් මිලියන 3,468 ක රක්ෂණ වටිනාකම හා සැසඳීමේදී 12%ක පසුබැසීමකි. ඒ අනුව එය 2020 වටිනාම සන්නාම ලැයිස්තුවේ 35 වැනි ස්ථානයට පත්ව ඇත.

මීට අමතරව පසුගිය වසරේදී රක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවූ වෙනස්වීම්  හරහා ඇතැම් සමාගම්වල සන්නාම වටිනාකම් ඉහළ යෑමටත්, ශක්තිමත් වීමටත් හේතු වී ඇතැයිද බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

“ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අත්පත් කරගත් ආලියාන්ස් ජෙනරල් සමාගමට තමන්ගේ සන්නාම වටිනාකම දෙගුණයක් කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ හරහා ඔවුන් පසුගිය වසරේ 42 වැනි ස්ථානයේ සිට 22 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට සමත් වෙලා.”

එසේම සොෆ්ට්ලොජික් ලයිෆ් සන්නාමය සිය සන්නාම වටිනාකම 25%කින් වර්ධනය කරගැනීමටත් සමත්ව ඇත. ඔවුන් ඉදිරිපත් කර ඇති වඩාත් සාර්ථක අලෙවි  මුලපිරීම් මෙන්ම නිෂ්පාදන නවෝත්පාදනද මේ සඳහා හේතුව වී ඇතැයි බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සඳහන් කරයි. එහිදී නව ගනුදෙනු කරුවන් සිය සන්නාමය වෙත ආකර්ෂණය කරගැනීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් වඩාත් සාර්ථක වී ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර සන්නාම ශක්තිමත්භාවය අතින්ද සෙලින්කෝ ලයිෆ් සහ සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම්  ඉදිරියට පැමිණෙමින් සිය සන්නාම ශක්තිමත්බව අත්පත් කරගැනීමේ දියුණුවක් පෙන්නුම් කර තිබෙන බවත් මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.

1996 වසරේදී පිහිටවුණු මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ මූලස්ථානය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටා තිබේ. එය මේ වනවිට ලොව පුරා ස්ථාන 20කට අධික සංඛ්‍යාවක පිහිටුවා තිබේ. ‘අලෙවිකරණය සහ මූල්‍ය අතර පවතින ඈත්වීම තවදුරටත් සමීප කරවීම’ අරමුණු කරගනිමින් මෙම ආයතනය පිහිටවූ බව පැවසෙයි. වසරකට එම ආයතනය ලොව පුරා සන්නාම 5,000කට අධික සංඛ්‍යාවක වටිනාකම් ඇගයීමට ලක් කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 124