වරාය නගර ව්‍යාපෘති සමාගමෙන්ම තවත් ඩො. බිලියනයක ආයෝජනයක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අමතර එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුදල් ආයෝජනයක් සිදු කිරීමට සූදානමින් සිටින බව එම ව්‍යාපෘතිය භාර චයිනා හාබර් ඉන්ජිනියරිං කම්පැනි (CHEC – China Harbor Engineering Company) සමාගම පවසයි.

ඒ අනුව නගරය තුළ සිදු කරන සිරස් සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම ආයෝජනය සිදු කරන බව CHEC Port City Colombo සමාගම සඳහන් කර සිටියි. මෙම ව්‍යාපෘතියේ ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී තුල්සි අලුවිහාරේ මහතා පසුගියදා සහභාගි වූ අන්තර්ජාල සාකච්ඡාවකදී මේ කරුණු පවසා ඇත.

විශේෂයෙන්ම මෙම වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනෙකුත් ආයෝජකයන් තුළ විශ්වාසය ඇති කිරීමේ අවස්ථාවක් ලෙස චයිනා හාබර් ඉන්ජිනියරිං කම්පැනි සමාගම මෙම ආයෝජනය සඳහා මුල පුරා ඇතැයි හෙතෙම සඳහන් කර තිබේ. මෙම වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා එම සමාගම වැය කළ මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 කි.

“මෙතැනදී  විශ්වාසය තමයි ප්‍රධානම කරුණ වෙන්නේ. මේ කොළඹ වරාය නගරය තුළ ආයෝජනය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ විවිධ අදහස් පවතිනවා. ඒ නිසා තමයි ඩොලර් බිලියන 1.4ක මුදලක් ආයෝජනය කරමින් මෙම වරාය නගර ඉදිකළ අප සමාගම විසින්ම තවත් ඩොලර් බිලියන 1ක ආයෝජනයක් මෙහි සිරස් සංවර්ධන ඉදිකිරීම් කටයුතු සඳහා යොදවන්නේ.” ඒ මහතා පවසා ඇත.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසුව බොහෝ ආයෝජකයන් යම් කල්බැලීමේ පිළිවෙතක් අනුගමනය කළ බවත්, ඇතැමි ආයෝජකයන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශ්වාසය තබා තිබූ බවත් ඔහු සඳහන් කරයි.

“කොහොම වුණත් අපි ආයෝජකයන් කිහිප දෙනෙකු සමගින්ම කතා කළා. අපි තේරුම් ගන්න ඕනේ මේ කලාපය තුළ බොහෝ තරගකාරීත්වයක් තිබෙනවා. වරාය නගරයක් වුණහම වඩාත් ආකර්ෂණීය තැනක් වෙන්න ඕනේ. ඒ නිසා මේ විදේශ ප්‍රාග්ධනය අපේ රටට ආකර්ෂණය කරගන්න අපි වෙනස් විදියට සිතීම වගේම තරගකාරී වෙන්නත් ඕනේ.”

මෙහිදී දැනට කොළඹ වරාය නගරය සඳහා යෝජිත විශේෂිත ආර්ථික කලාපය පිළිබඳ අදහස වඩාත් අවධානය යොමු කළ යුතු අවස්ථාවක් බවද ඔහු පෙන්වා දෙයි. එසේම කොළඹ වරාය නගරයේ ඉදිරි කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා පැහැදිලි ප්‍රතිපත්ති ක්‍රියාරාමුවක් සැකසීම සහ ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු බවත් අලුවිහාරේ මහතා අවධාරණය කර තිබේ.

පෙර ලිපි –
කොළඹ වරාය නගරයේ පර්චසයක් රුපියල් මිලියන 13 යි
රජය කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය දෙස බැලීම මහ මැතිවරණයෙන් පසුවට කල් දමලා
කොළඹ වරාය නගරයට තවත් මාස හයකින් කෘත්‍රිම වෙරළක් 



Visits: 131